වතුරට ඇබ්බැහිවෙන්න.. ඒක කොකේන් කංසා පරදන මත් එකක්..

water
වතුර කියන්නේ මේ ලෝකේ මම ආසම දේවල්වලින් එකක්. ඉස්සර කොහේ හරි ගිහිං ගෙට ගොඩ උන ගමන් බඩට හලාගන්නේ වතුර. රසක් සුවඳක් පාටක් නෑ කීවාට මාර රහයි මට මේ වතුර පොද.. රත්නපුරේ ගමේ කැලෙන් බඩගාලා ගෙදරට වඩින වතුර ගඟුල තරම් රස වතුරක් මට තවම කොහේදිවත් දිවට වැටිලා නෑ. එක දවසක් පානමදි කුමන ගමේ පැරැන්නෙක් එක්ක කයියකදි මිනිහා මෙහෙම කියාපි..
‘කුඹුක්කන් ඔයේ කුඹුක් මුල්වලින් පෙරලා දෙන වතුර බොඳ බීවාම බඩ ගින්නක් නෑ පුතා. ලෙඩක් දුකක් නෑ පුතා..’ වතුර ගැන හැම මිනිහටම මෙහෙම ලස්සන ලස්සන හැඟීම් ඇති, පණ ගැහෙන. ඔව්.. වතුර කියන්නේ හැඟීමකට..! මම මේ කියන්න යන කතාව මීටත් වඩා ටිකක් වෙනස්..
වතුර කියලා කියන්නේ පොඩි කාලේ ඉඳලම මගේ ආසාව. කළුගඟේ හැරණියාවක මහපාලමට පහළ සුප්‍රකට වක්කලමට උඩින් දියේ ගිලෙන්න ගිහිං බේරගත්ත ඒ පුංචි කාලේ ඉඳලාම මම මාර ආසයි වතුරට. ළමයි දියේ ගිලෙන්න ගියාම ආයෙත් ගඟක් දිහා බලන්නේ නෑ.. ඒකට මූ.. අම්මා එහෙම කියනවා තවම මතකයි.
ගෙදරට ඉස්සරැහින් පාරට පහළින් පාරට සමාන්තරව තමයි කළු ගඟේ ශාඛාවක් උන හංගමු ගඟ ගලන්නේ. ඉස්සර එතන සුප්‍රකට නාන තොටක්. උමං දොළ වැටෙන තැන ඩෙල්ටාව සුදු වැලි යාය නාන්න පීහිනන්න දියඹුන් ගහන්න කියාපු තැන. ඒත් ගඟේ පතල් වැඩිවෙන්න වැඩිවෙන්න ගඟේ අසිරිය දියවෙලා ගඟ පහළ.. ඒ කොහොම වුණත් නිමාඩු දවසටනම් උදේ අවු රස්නේ විඳ විඳ ගඟ පැන අපි ගොඩ ආවේ දහවල බතට.
සමහර දාක තොටුපොළට විරිත්ත විරිත්ත සිනාසෙන වැලගෙඩි එල්ලගෙන නිර්ලෝබයට අප දිහාම බලාගෙන හිටිය කොස් ගස නිසාම අපි ගෙදර ගියේ හවසට. කළුවරට ඔන්න මෙන්න, මේ නෑමට කියාපු බඩු සෙට්ටෙකක් හිටියා අපිට. ඉතිං පුංචි කාලේ ඉඳලා කිසිම වැඩිහිටියෙක් නැතුන් මෙහෙම ගඟට පැනපු පැනිලි නිසාම හොඳට පීනන්න පුලුවන්. කිමිඳෙන්න පුලුවන්. මොකද ඉස්සර අපි ගඟට බැස්සාම කරන ජනප්‍රිය සෙල්ලමක් තමයි වැඩියෙන්ම දිය යට ඉන්නෙ කවුද හොයන එක.. තවත් එක සෙල්ලමක් තමයි කවුද දිය යටින් වැඩි දුරක් යන්නේ කියන එක සොයන එක.. ටකරේ ගහන එක බල්ටි ගහන එක වගේ ඉඳලා මාළු බාන එක දක්වා නෙක එක එකවල් අපි කරන්නේ ඉතිං ගඟේ තමයි. ගඟේ පතලයක් අතෑරුවාම අපි යනවා ඒ වළට, ගැඹුර තිබුණාම තමයි හොඳට පීනන්න නටන්න කොරන්න ආස.
ඉතිං මෙහෙම වතුරට බැඳි හාද කෙළවරටම ආවේ කොහේ කොයි කොන ගියත් ගඟක් මූදක් දැක්කොත් පනින්න නාන්න එන ආසාව එක්ක. ක්‍රිස්ටල් වතුරේ වගේම නෙස්ටමෝල්ට් වතුරෙත් නාන්න පිහිනන්න කිමිදෙන්න ජීවිතයට තියෙන්නේ අනුරාගයක්, ඇත්තටම. ඉස්සර ඕසෙට ගඟ ගැලුවාම හෝහෝ ගාලා ගඟ පෙරළි පෙරළි හෙරළිවගේ පෙරළෙනකොටත් අපි පොල් ඇහිදින්න ගඟට පනින්නේ ‘කොල්ලනේ ඔය සීතල වතුරට කෙන්ඳ පෙරළෙයි’ කියලා වැඩිහිටියෝ කැගානකොට කනේ ඇබගහගෙන. ඒතරමට වතුර එක්ක බැඳුන ජීවිතයක් මේක.
යාලුවෝ එක්ක සමහර ට්‍රිප් ගියාම නොදන්න වතුරකට පැන්නාම උන් තරහා වෙනවා මා එක්ක. ‘තොට පිස්සු අපිවත් අමාරුවේ දාන්න හදනවා..’ ඉස්සර බංගලා හන්දියේ ඉන්නකොටත් අපි යනවා දියවන්නාවට නාන්න. ඕකේ තියෙන්නේ කුණු වතුර කීවාට අපි පනිනවා නානවා පීනනවා. මෙහෙම නාපු දවසක එරිලා තියෙනවා දිය යට. ඒත් එකට ගිය එවුන්වත් දන්නේනෑ ඒවා. ඒක පුදුම අත්දැකීමක්. ත්‍රාසය ජීවිතාසාව එකට කැලතුන.. මුහුදු බඩ මිත්‍රයා විජේ මට ඉස්සර කියලා තියෙනවා ..
මචං ආතල්ම මරණය තමයි බීලා හොඳටම වැඩිවෙලා මුහුදේ නාලා දියේ ගිලෙන එක..! එක ගමනක් අපි පාසිකුඩාවල ඈතට ඈතට ගියේ කොකා බෝතල්වල රුසියානු වොඩ්කාව දමාගෙන.. බිබී නාන එකත් ආතල්, එහෙමයි ඒ වෙලාවට. දියේ ගිලිලා මැරුණ කොල්ලන්ට අපි බනිනවා නිතර.. අපරාදේ තරුණ ජීවිත.. ඒත් උන් මැරිලත් පුදුම සැපක් ගන්නවා ඇති කියලා හිතෙනවා වෙලාවකට.
මම ඇල්පිටියට ආපු මුල් කාලේ බස්සෙකේ නැඟලා හවසට යනවා බෙන්තොටට. බෙන්තොට කියන්නේ මම ලංකාවේ නාන්න ආසම තැනක්. මුහුදු රළ අස්සේ නානවා පිහිනනවා කියන්නේ කලාවක්. මල්ලි අද කරන්ටෙක තියෙනවා බීච්බෝයිවරයෙක් සන් කළත් ඉතිං, ඈතට ඈතට පාවෙන එක තරම් සැපක් තවත් කොහේද? ඒත් එක දවසක්නම් කරන්ටෙක ඇඳගෙන යන්නමයි හැදුවේ.. ඒකත් ජීවිතේ එක ගැළවුමක්. ගොඩට ඇවිත් මම තවම ජීවතුන් අතර කියලා හිතනකොට දැනෙන හැඟීම මෙහෙම විස්තර කරන්නේ කොහොමද? ඒ කොහොම උනත් ආයේ ආයෙත් වතුරක් දැක්කොත් පනින එක මගේ කුනුහරුපකම.
ලංකාව වටේට මූද තිබුණට ගංගා තිබුණට අපි හරියට වතුරට බය ජාතියක්. ඒ ඇයිද කියලා කියන්නනම් මම දන්නේ නෑ. දියේ ගිල්වා මැරීම රජකාලේ දඬුවමක් උනේ හින්ද ද අනේ මන්දා..
බෙන්තොටින් පටන් ගත්තාම සුරලෝකේ හම්බවෙන්න පුලුවන් තැන් ලංකාව වටේටම. තව ඇතුලතත් බෝම. ඩෙල්ෆ් ඒවගේ තැනක් පීනන්න.. දෑහින් කොරල් දකින්න.. මාබල්බීච් තවත් ලස්සන තැනක්.. මැරෙනවා නොදැනෙන ලස්සනක හිරකාරයෙක් වෙන්න පුලුවන් තැනක් ඒක. ගල ඔය සේනානායකය සොයාවැටෙන මකරේ.. ඒවගේ තැනක්.. දියළුම දියඇලි කොමළියට ගල් කටාරම් ගඟුලවලවල් පීරන්න.. සුටුස් ගාලා දිව්‍ය ලෝකෙට යන්න.. පොඩි කැබිලිත්තට පහළ කුඹුක්කන් ඔය තවත් සුරවලක් දියකෙළියට.
එහෙම බැලුවාම වැව් ඇලවේලී දියඇලි කොතෙක්ද?..මුහුදු ඉම් පතුල් අපමණ..
අපි කොහොම පිහිනන්න පුරුදු උනාද දෙයියෝ තමයි දන්නේ. අද ළමයින්ට ක්ලාස් යැව්වත් පිහිනීම අල්ලගන්න හරිම අමාරුයි, ඒකට හේතුව අපි වතුර ගැන හදලා තියෙන බය. පිහිනන්න නෙවෙයි පාවෙන්න ඉගනගන්න. සැහැල්ලුව හැල්ලුවට ගන්න කියලා තමයි කියන්න වෙන්නේ. මුහුදේ නානකොට දියටට ගිහිං චූට්ටක් ඇස් ඇරලා බලන්න.. ගඟේ උනත් ක්‍රිස්ටල් වතුරේ ඇස් අරින්න. ඒක වෙනම ලෝකයක්. ඒක ඔබට මේ මතුපිටදී හම්බවෙන්නේ නෑ. ඇත්තටම..
ඉස්සර අපේ ගඟේ උමන්දොළ වැටෙන තැන ගඟ ට ඔහොක් කරගෙන ලොකු වළක් තිබුණා පතලක් ඇඳලා අතෑරපු. අඩි විස්සක් විතර ගැඹුර උනාට උදේට ඉරඑළිය අස්සටම බඩගාන. මම උදේට කරන්නේ කණ්ඩියට වෙලා මාළු එහෙමෙහේ පීනන එක කනබොන සුඛන එක බලන එක. ඒක මාරම ලස්සනයි. සමහර උදේක ඉතිං කිමිදිලත් උන් එක්ක තරගයට එහෙම මෙහේ පීනන ගතියක් තිබුණා. මම ඉස්සර සමහර දාට හික්කඩුවට ගිහිං මේ වැඩේ කරනවා. එතන මේ බැලිල්ලට මාරම තැන.
බැලිල්ලත් එක සිඛිල්ලක් කියනවානේ.. මේ ලස්සන ඇහැට උරාගත්තාම ඈතමූදේ නැව් ගානේ කිමිදෙන කිමිදුමෝ ගැන එන්නේ ඊර්ෂ්‍යාව. කවදාහරි දවසක එහෙම කිමිදෙනවා කියලා හිතන් ඉන්නවා ඉතිං මම තවම. ඒකට ඉතිං පොඩි පුහුනුවක් ලැයිසොමක් ගන්න එපැයි කියලා හිතමින් ම.
ඔව් ඇත්තටම වතුර කියලා කියන්නේ ඇබ්බැහියකට. වතුර කියලා කියන්නේ හැඟීම් ගංගාවකට. ඉස්සර අඟුරු කෑල්ල අරගෙන ගඟට මූන හෝදන්න යන කාලේ සමහර දාට ගඟෙන් දුම් කෝඩ මතුවෙනකොට රස්නේ ඇතිනේද කියලා ගඟට පැනපු දවස් එමට. කට්ට හීතලේ රෑ දෙගොඩාරියේ පීනපු දවස් ඕසෙට. සමහර දා රෑ ඕවර් ගැහුවාම උදේ දහයට විතර ගඟට බැහැලා හවස් වෙනකම් හිටපු දවස් ඕනෑ තරමට.
මේ මෑතක රාවනා ගුහාවට රිංගලා පොළවේ අඩි විස්සක් තිහක් යටට බැහැලා කිලෝමීටර් පහක් විතර ඈතට ගියාම හම්බවෙන නීල පොකුණ, ගිය හැවෝම විශේෂයෙන් කෑගානවා බහින්න එපා බහින්න එපා කියලා.. ඒත් ඉතිං විලට අඩිය තියෙනකම් ඒක විල කියලා නොහිතන කට්ට පැහැදිලි වතුර පොදියක් දැක්කාම නොපැන කොහොමද? ඒකනම් මහා පුදුම තැනක්..!. රාවනා නෑවා සීතා එක්ක කියලා කියන නිසා නෙවෙයි.. අවර්ණ ජලය තමයි ඇත්තටම එතන තියෙන්නේ.
සීතල උතුරනවා. පතුලක් නොපෙනෙන අගාධ විලක් ඒක. අපිට ඊළඟ ලෝකෙට පනින්න කුරුබිලිය තියෙන්නේ එතන. ඕසෙට පප්පගේ මැජික් අරිස්ටෙ වගේ ගොජ දාන ඒ ගඟුල, උතුර උතුරා කොහේට ගලනවා ද දෙයියෝ තමයි දන්නේ.. ජීවිතේ නාපු කිමිදුන පිහිනපු සුන්දරම තැන ඒක…
ඉතිං මගේ යෝජනාව වතුරට ඇබ්බැහි වෙන්න.. ඒක කොකේන්වලට වඩා සැර කංසාවලට වඩා සැර මත් එකක්..!

Related posts