ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය

newzelandocland

ලෝක ප‍්‍රකට සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ (EIU) හරහා වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයේ වාර්තා අනුව නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරය, ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර අතර ප්‍රමුඛස්ථානයට පත්වී ඇත.

ලැයිස්තුවේ දෙවන ස්ථානය ජපානයේ ඔසාකා නගරයටත් තෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයටත් හිමිව තිබේ. මීට අමතරව නවසීලන්තයේ වෙලිංටන් අගනුවර, ජපානයේ ටෝකියෝ අගනුවර සහ ඕස්ට්‍රේලියාවේ පර්ත්,  මෙල්බර්න්, බ්‍රිස්බේන් යන නගර ජීවත්වීමට වඩා සුදුසු නගර දර්ශකයේ මුල් ස්ථාන දහය අතරට පැමිණ ඇත. ස්විස්ටර්ලන්තයේ සුරිච්, ජිනීවා මෙම ලයිස්තුවේ හත, අට ස්ථාන හිමිකරගෙන තිබේ.

මෙම ලැයිස්තුව සැකසීමේදී ස්ථාවරත්වය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ පරිසරය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් යන  පුළුල් අංශ 5ක් යටතේ වූ නිර්ණායක ගණනාවක් ඔස්සේ මෙම නගර ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.

පවතින වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණය සඳහා වන අවධානය මෙන්ම දේශීය ක්‍රීඩා ඉසව්, සිනමාහල්, සංගීත ප්‍රසංග, ආපනශාලා සහ පාසල් වැනි සීමා කිරීම් වල තත්වය ඇතුළු නව දර්ශක කිහිපයක් ද EIU විසින් මෙයට එකතු කරන ලදී. විවිධ රටවල නගර 140ක් අතරින් වාර්ෂිකව මෙම තෝරා ගැනීම සිදු කෙරේ.

කොවිඩ් වසංගත තත්වය නිසා පෙර වසරවලට වඩා මෙම වසරේ ලැයිස්තුවේ විවිධ වෙනස්කම් ඇතිවී තිබේ.

සමීක්ෂණ කාල පරිච්‌ෙඡ්දය වූ 2021 පෙබරවාරි 22 සිට මාර්තු 21 දක්වා කාලය තුළ සම්පූර්ණයෙන් රට වසා තැබීම හෝ ආසාදිතයින් වාර්තා වීමේ වැඩිවීමක් නිසා බොහෝ යුරෝපීය රටවල නගර පෙර වසරවලට වඩා ශ්‍රේණිගත කිරීමේ පහතට වැටී තිබේ. ඔස්ට්‍රියාවේ වියානා නගරය 2018, 2019  වසරවල මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වී තිබුණත් මෙම වසරේ එම ස්ථානය අහිමි වී ගොස් එයට හිමිවුණේ දොළොස් වැනි ස්ථානයයි.

ලෝකයේ බොහෝ රටවල පැවති කොවිඩ් වසංගත තත්වය නිසා ජන ජීවිතය අවුල් වී ගියත් සමීක්ෂණ කාලය තුළ දැඩි සංචරණ සීමා පනවමින් සහ එන්නත්කරණය තුළින් සාර්ථකව වසංගත පාලනය කර ඇති රටවල් මෙම ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයට පත්වී තිබේ.

එම රටවල්වල ජන ජීවිතය තරමක් යථා තත්ත්වයට පත් වී ඇති අතර පනවා තිබූ සංචරණ සීමා වැනි සීමාකිරීම් ද වඩා ඉක්මනින් ලිහිල් කිරීමට මෙම රටවල් වලට හැකි විය. මෙහිදී බොහෝ දුරට වෙනත් රටවල් වලින් වෙන්ව දූපත් ලෙස  පිහිටි රටවල් වසංගත කළමනාකරණය සහ පාලනය සම්බන්ධයෙන් වැඩි සමත්කම් දක්වමින් මෙම ලැයිස්තුවේ ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ සම්පූර්ණ වාර්තාව පහතින්.

https://www.eiu.com/n/campaigns/global-liveability-index-2021/

Related posts