ආසන 20ක් දිනා ගැනීම අපේ අරමුණයි – ආර්. සම්බන්ධන්

පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙවර ආසන 20ක් දිනා ගැනීම තම අරමුණ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්  මහතා පවසයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තම පක්ෂයේ ඇති සූදානම පිළිබදව ඊයේ (4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසුවාය.

දෙමළ ජනතාවගේ ඒකම අවිය ඡන්ද අයිතිය බවත්, ඉදිරි මහ මැතිවරණයේ දී දෙමළ ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත්, රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන දෙමළ ජාතික සන්ධානයට ද්‍රෝහී වූවෝ විවිධ පක්ෂවලින් මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇති බවත් ඔවුන්ට අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්දන් මහතා කියා සිටියේ, මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉතිහාසයේ වැදගත්ම මැතිවරණයක් වෙනවා. ඒ නිසා සුදුසු අපේක්ෂකයින් අප මෙම මැතිවරණය සදහා ඉදිරිපත් කරනවා. කාන්තාවන්ට සහ තරුණයින්ට අපි නිසි ලෙස ඉඩකඩ ලබාදී තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත් පුරාවටම අපි මැතිවරණ ව්‍යාපාරය ගෙන යනවා. ගමින් ගමට ගොස් අපි අපේ ස්ථාවරය වැඩපිළිවෙල ගැන දෙමළ ජනතාව දැනුවත් කරනවා. ජාත්‍යන්තරය අද අපේ පසුපස සිටිනවා යැයි ද පැවසීය.

යම් අවස්ථාවක පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය දෙමළ ජාතික සන්ධානය වන්නේ නම් අපට අපගේ අයිතිවාසිකම් සහ දේශපාලන විසදුම් දිනා ගැනීමට අප ඒ අවස්ථාව පරිහරණය කළ හැකියි.

දෙමළ ජාතික සන්ධානයට ලැබෙන ආසන ප්‍රමාණය අඩුකිරීමේ අරමුණින් රාජ්‍ය අනුග්‍රහාය සහිතව බාහිර බලවේග කිහිපයක් මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍රගතව දේශපාලන පක්ෂ රැසක් තරග කරවනවා.දෙමළ ජාතික සන්ධානයට ද්‍රෝහිකම් කළ අය,ද්‍රවිඩ විමුක්ති අරගලයට ද්‍රෝහිකම් කළ අය ඒ ආකාරයට මෙවර මහ මැතිවරණයට තරග කරනවා.මෙවන් අයට දෙමළ ජනතාවට මැතිවරණයෙන්ම හොද පාඩමක් ඉගැන්විය යුතුයි.

එමෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්,අර්බුදවලට විසදුම් ආදී පොරොන්දු වලින්  යුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදී එළිදක්වනවා යැයිද සම්බන්ධන් මහතා පැවසීය.

Related posts