යුද ජයග්‍රහණයේ උන්මාදයෙන් මුසපත්වූ දකුණට උතුරේ ආඩම්බරය ගෙනා මංගල – වසන්ත රනිල්

මංගල සමරවීර මිය ගිය දිනට පසු දින මට දුරකථන ඇමතුමක් ලබා දුන් හොඳ සිංහල බෞද්ධයකු වන බැංකු නිලධාරියෙක් පවසා සිටියේ ‘‘කුරුඳු පොලු කාරයා ගියා නේදැ?”යි කියාය. ඔහු එය පැවසුවේ අදහස් දෙකකින් බව මට වැටහුණි. මා හටද මංගල මියගිය ආරංචිය ලැබුණු විගස සිහියට නැගුණු එක් සිදුවීමකි ‘‘කුරුඳු පොලු ප්‍රහාරය”.

ඒ වගේම සාගල රත්නායක එජාපයෙන් මුලින්ම මාතරට තරඟ කළ 2000 පාර්ලිමේන්තු මහා මැතිවරණ දිනයේදී මාතර නගරයේදීම සාගලගේ පිරිසක් වාහනයක ගමන් ගනිමින් ඉන්නා අවස්ථාවක මංගලගේ කණ්ඩායමක් එලවා එලවා වෙඩි තිබ්බ කියලත් ඔහු මට සිහිපත් කළා. මංගල ගැන කියන්න වෙන දෙයක් ඔහුට මතක තිබ්බේ නැහැ. හැබැයි සුදු නෙළුම ගැනයි, තවලම ගැනත් ඔහුට ටිකක් මතක තිබුණා.

සාමය වෙනුවෙන් කටයුතු කළ මංගලව දිරවන්නෙම නැති අවස්ථාව වූයේ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂව ජනාධිපති කරවන්න සම්පූර්ණ බර ඇදීමයි. ඊට කළින් තනිකරම චන්ද්‍රිකා වාදියෙක් වු මංගල ඒ තරම් බරක් අදියි කියලා යන්තමටවත් සිතුණේ නැත.

1999 චන්ද්‍රිකාව දෙවැනි වතාවට ජනාධිපති කරන්න මංගල ලොකු බරක් ඇද්දේය. 1999 සහ 2005 ජනාධිපතිවරණ කැම්පේන්වලදී මංගල රනිල් වික්‍රමසිංහව පොඩි පට්ටම් වෙන ප්‍රචාරයක් ගෙන ගියේය. ‘‘රනිල්ට බෑ” කියන තේමාවත් මංගලගේ නිර්මාණයකි. විශ්ෂයෙන් 2005 ජනාධිපතිවරණයේ දී ශ්‍රීපති සූරියාආරච්චි සමඟ උතුරේ ඡන්ද වර්ජනය කරන්න එල්.ටී.ටී.ඊ. සංවිධානය පොළඹවා ගැනීමට (ඒකට සල්ලි හොයලා දුන්නේ බැසිල් වුණත්) මංගලත් හවුල් විය.

එය හොඳින්  තේරුම් යන්නේ 2015 ජනාධිපතිවරණයේ දී රනිල් වෙනුවට මෛත්‍රීපාල ආවොත් තමයි දිනන්න පුළුවන් යන මංගල කළ ගණන් බැලීමයි. රනිල්ට උතුරු-නැගෙනහිර ඡන්ද ගන්න පුළුවන් වුණත් ශ්‍රීලනිපය තුළින් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් කඩා ගන්න බැරි බවත්, එය පුළුවන් මෛත්‍රීට බවත්, ඉන් ශ්‍රීලනිපයේ බෙදීමක් ඇති වන බවත් ඔහුගේ විශ්වාසය විය. එම වාසියෙන් ජයග්‍රහණය කළ හැකි බවට මංගල ගණන් බලා තිබුණි.

මංගල විසින් චන්ද්‍රිකා සහ මහින්ද වෙනුවෙන් දරදිය ඇදීම පිළිබඳ සියලුම අවුල් දියවී යන්නේ  2007 පෙබරවාරියේදී මහින්දගේ ආණ්ඩුවෙන් මංගල ඉවත් වීමත් සමඟිනි. එය බොහෝ දෙනෙකුට අනුව සිය දිවි නසා ගැනීමකට සමාන විය. ඊට දින කිහිපයකට පසු ශ්‍රීපති සූරියආරච්චිව අත්අඩංගුවට ගෙන සිරගත කිරීමත් සමඟම ඊළඟ අවස්ථාව මංගලට ලැබේ යැයි රාජපාක්ෂිකයින් වගේම බොහෝ දෙනෙක් විශ්වාස කළේය. විශේෂයෙන්ම පුද්ගලයින් අතුරුදහන් කිරීමට රජය සහ හමුදාව සෘජුවම සම්බන්ධ බව දන්වමින් මංගල ජනාධිපති මහින්දට ලිපියක් යොමු කිරීමත් එසේ සිතීමට හේතු විය. නමුත් මංගල දිගටම තමන්ගේ මතයේ පිහිටා සිටියේය.

ජාතික දේශපාලනයේ දී මංගල කළ විශිෂ්ටම කර්තව්‍යක් ලෙස මාතර ‘නිදහසේ වේදිකාව’ රැස්වීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කැඳවීමට සහාය දැක්වීම හැඳින්විය හැක. එය සිදු වුයේ 2011 වසරේ දීය.  මහින්දගේ ආණ්ඩුවට විරුද්ධව සිවිල් සංවිධාන විසින් ගොඩනඟන ලද නිදහසේ වේදිකාවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මෙන්ම විපක්ෂය ඇතුළේ හිටිය සුළු ජාතික පක්ෂවලත් සහාය හිමි විය.

2011 වන විට උතුරු-නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවල නිදහසේ වේදිකාව රැස්වීම් පැවැත්වෙමින් තිබුණි. එම රැස්වීම් සඳහා ඒ ඒ ප්‍රදේශවල සමහර එජාප සංවිධායකවරුන්ගේ ද සහාය හිමි විය. සජිත් සහ ඔහුට හිතවත් අය තමන්ගේ ප්‍රදේශයේ නිදහසේ වේදිකාවට ඉඩක් ලබා නොදුන් අතර, නිශ්ෂබ්ද ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔවුන්ගේ විශ්වාසය වූයේ නිදහසේ වේදිකාව ‘රනිල්ගේ වැඩක්’ලෙසිනි. එසේ නැති නම් රනිල්ව පුම්බන වැඩක් ලෙසිනි.

මාතර රැස්වීම සම්බන්ධව මංගල සමග සාකච්ඡා කළ අවස්ථාවේදී මතු වූ අදහසක් වූයේ ‘‘උතුරේ පණිවිඩය දකුණට හරියට කියන්න ඕන”යන අදහසයි. ඊට සුමන්තිරන් වැනි අයෙක් සුදුසු බව යෝජනා කළේ කවුරුන් දැයි හරියටම මතක නැති වුණත්, සුමන්තිරන්ට ආරාධනා කිරීමත්, ඒ රැස්වීමේ සංවිධාන කටයුතුවල සැලකිය යුතු බරක් ඇදීමටත් මංගල ඉදිරිපත් විය. එසේම මාතර රැස්වීමේ එජාප කථාව කරන්න මංගලට ආරාධනා කළ අවස්ථාවේ මංගලගේ යෝජනාව වූයේ ‘‘මාව මාතර අය දන්නවානේ, මම කියන දේත් දන්නවා. ඒ නිසා අපි වෙන හොඳ තරුණ කෙනෙක්ට එන්න කියමු. අපි හර්ෂට (පා.ම. හර්ෂ ද සිල්වා) කතාව දෙමු”යනුවෙනි.

ඒ අනුව හර්ෂ ද සිල්වාට ආරාධනය කිරීමද මංගලම බාර ගත්තේය. එය නිදහසේ වේදිකාවේ සාර්ථකම රැස්වීමක් විය. 2011 ජුනි යනු යුද ජයග්‍රහණයෙන් මත්වී සිටි දකුණේ ජනතාව සිංහල බෞද්ධ අන්තවාදයෙන් ආඩම්බරයයෙන් සිටි කාලයකි. මාතරට පැමිණි සුමන්තිරන් කිසිම ඇදක් පලුද්දක් නැතිව යුද්ධයෙන් පසුව උතුරේ තත්ත්වයත්, උතුරේ ජනතාව සිතන පතන ආකාරයත් ව නිරවුල්ව පැවසීය. ඉංග්‍රීසියෙන් කළ සුමන්තිරන්ගේ කථාව සිංහලට පරිවර්තනය කළේ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරුවකු වූ නීතිඥ සුදර්ශන ගුණවර්ධනයි.

තම කතාව අතරතුර දී සුමන්තිරන් මෙසේ ද ප්‍රකාශ කළේ ය. “මේ රටේ බහුතරය සිංහල ජනතාව. ඔවුන් විශිෂ්ට ජාතියක්. ඒ අය බහුතරයක් අදහන්නේ බෞද්ධාගම. ඒක ශ්‍රේෂ්ඨ ආගමක්. ඒකට අපි ගරු කරනවා. අවාසනාවකට අපි ඒ ජාතියටවත් ආගමටවත් අයිති නැහැ. අපේ බහුතරය දෙමළ. අදහන්නේ හින්දු ආගම. අපි හිතනවා අපේ ජාතියත්, ආගමත් ශ්‍රේෂ්ඨයි කියලා”

ගැටළුවකින් තොරව රැස්වීම අවසන් විය. රැස්වීමෙන් පසුව මංගලගේ නිවසේදී පැමිණි ආරාධිතයින්ට සහ රැස්වීමේ සංවිධායකවරුන්ට සංග්‍රහයක් සූදානම්කර තිබුණි. මංගලගේ නිවෙසින් සංග්‍රහය භුක්ති විඳින අතර ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අතීත සිදු වීම් කිහිපයක්ම මතක් කර දුන්නේය.

ඒ අතරින් චන්ද්‍රිකා පාලන යුගයේදී මංගල විසින් සිදු කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කිහිපයක් මෙන්ම චන්ද්‍රිකාට මංගල විසින් ලබා දුන් වැරදි උපදෙස් කිහිපයක්ද සිහි කළේ මංගලව සරදමට ලක් කරමිනි. සිනා සෙමින් ඊට සවන් දුන්නා මිසක් මංගල ඊට පිලිතුරු නොදුන්නේ ඒ සියල්ල සත්‍ය නිසා යැයි ආචාර්ය වික්‍රමබාහු ඒ අවස්ථාවේදීම ප්‍රකාශ කළේය.

ඒ යුද්ධය අවසන්වී වසර දෙකක් වැනි කෙටි කාලයකි. එවැනි කාලයක දකුණට උතුරේ දේශපාලකයෙක්ව ගෙන්වන්න ඇත්තවශයෙන්ම ධෛර්යක් තිබිය යුතුය. සුමන්තිරන් වැනි දේශපාලඥයෙකු දකුණට ගෙන ඒමට සිවිල් සංවිධානවලට සහාය දීමෙන් මංගල එම ධෛර්ය පෙන්වීය. මෙතෙක් කලක් රනිල්ගේ වැඩක් ලෙස හැඳින් වූ ‘නිදහසේ වේදිකාව’ මංගලගේ වැඩක් ලෙස ඇතැමුන් හැඳින්වීම ආරම්භ කළේ ඉන් පසුවය.

ඉන් පසුව මංගලට නැවත හැරෙන්නට බැරි විය. 1999 චන්ද්‍රිකාව දෙවැනි වතාවට බලයට පත්කිරීමට සහ 2005 මහින්දව බලයට පත් කිරීමට මැතිවරණ ප්‍රචාරණයේ දී ජාතිවාදය පාවිච්චි කළ මංගල 2015 මෛත්‍රීපාල සිරිසේනව බලයට පත් කිරීම සඳහා කටයුතු කළේ ජාතිවාදයට එරෙහි වෙමිනි. ඒ සඳහා සිවිල් සංවිධාන සහ රනිල් වික්‍රමසිංහ පෙරමුණ ගත්තේය. එය මංගලට පහසුවක් විය.

මෛත්‍රීපාල සිරිසේන රජයේ විදේශ ඇමතිවරයා ලෙසද මංගල එම නිර්භීත භාව‍යම පෙන්නුම් කළේය. සුළු ජාතිනීන් වෙනුවෙන් මෙන්ම යුද්ධයෙන් විපතට පත්වූවන් සහ අතුරුදන්වූවන් වෙනුවෙන්, සංහිඳියාව වෙනුවෙන්ද මංගල විශාල කාර්යක් භාරයක් ඉටු කළේය. එහෙත් එම ආණ්ඩු කාලයේදී කළ යුතු කාර්යයන් බොහොමයක්ම කළ නොහැකි වීම ද මෙහිලා සදහන් කළ යුතුය. විශේෂයෙන් සිවිල් සංවිධාන සහ රජය එක්ව සිදු කරන කටයුතු දකුණේ ජනතාවට පැහැදිලි කිරීම සහ ඔවුන්ගේ සහාය ගැනීම කිසිවෙකු විසින් සිදු කළේ නැත. එම වරද රනිල් වික්‍රමසිංහ, මංගල මෙන්ම සිවිල් සංවිධානද බාර ගත යුතුය.

මංගල අවසන් වශයෙන් ගොඩනැගීමට උත්සාහ කළ දේශපාලන මැදිහත්වීමේදී ‘‘මම නැවත පාර්ලිමේන්තු යන්න අදහසක් නැහැ. නමුත් මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම සඳහා සක්‍රීයව මැදිහත්වෙනවා”. යනුවෙන් ප්‍රකාශ කරන්නට ඇත්තේ ඒ වගකීම පසුව හෝ ඉටු කිරීමට විය හැකිය.

Related posts