hapinnak-katha-karai
සිංහල බෞද්ධ ජන සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය හා සම්බන්ධ සතුන් අතුරින් අලි ඇතුන් සහ නාගයෝ ප්‍රධාන වෙති.ඉන්දියානු හින්දු සමාජයේ වානරයන්  සමබන්ධයෙන් ද  යම් ආධ්‍යාත්මික ස්වරූපයක් ඉස්මතු වුව ද අප රටේ එවැනි තත්වයක් දක්නට නොලැබේ.
නමුත් පසුගිය කාලයේ කැලණි නදිය දෙබෑ කරගෙන පැමිණි අද්භූත ස්වරූපයේ නාගයකු පිළිබඳ ප්‍රෝඩාකාරී ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ ගත කිරීම පිණිස කැලණි රජ මහා විහාර පාර්ශවයෙන් ද දර දිය සැපයීම මත අප රටේ විචාරශීලී චින්තනයකට යොමු නොවූ බොහෝ දෙනෙකුන් එම කතාව ද සත්‍යයක් සේ පිළිගත් බව පෙනෙයි.

මෙවන් පසුබිමක් යටතේ අනුරාධපුර අටමස්ථාන ආශ්‍රිතව සැරිරසන ලද හැපින්නක සමඟ සමඟ කතා බහ කිරීමට ලත් දුර්ලභ අවස්ථාවක් පිළිබඳ විස්තරයකි මේ;

එදා දිනය හරියටම කිවහොත් 2002 වසරේ අප්‍රේල් 07දා ය. ස්ථානය ශ්‍රී ලංකාවේ මෝහන ප්‍රසංග කලාවේ නිර්මාතෘ ආචාර්ය නෙවිල් ද සිල්වාගේ රාජගිරියේ මෝහන චිකිත්සාගාරයයි.

යමෙකු මෝහනයට පත් කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ ඉහත ආත්මයේ විස්තර දැනගත හැකිය යන ජනප්‍රිය මතවාදයේ සත්‍යතාවය විමර්ශනය කිරීම මගේ එම විමසුමේ අරමුණ විය. එහිදී කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු මෝහනයට පත්කළ ආචාර්ය නෙවිල් ද සිල්වා මගේ සිතැඟි පරිදි ඔවුන්ගෙන් ඉහත ආත්ම තොරතුරු දැනගැනීම පිණිස නිදහස් අවකාශයක් ලබා දුන්නේය. ඒ බව මා කෘතවේදීව මෙහිදී සිහිපත් කරනුයේ දැනට ජීවතුන් අතර නොමැති ඔහුගේ නාමයට කරන උපහාරයක් වශයෙනි.

මෙම සිද්ධිය නිරීක්ෂණය කරනු පිණිස මාගේ ඇරයුමින් විද්වතුන් කිහිප පළක් ද සහභාගී විය. ඒ වනවිට රාගම මහරෝහලේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වත්මන් පීඨාධිපති හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ ද ඒ අතර විය.

ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා විසින් පළමු වරට මෝහනය කරන ලද්දේ හතළිස් පස් වියැති විවාහක දෙදරු මවකි. කළු, සිහින්, උස් සිරුරක් සහිත ඇය දැඩි ආගමික භක්තියකින් යුතු තැනැත්තියක බවද මට දැනගත හැකි විය. ආචාර්ය නෙවිල් ද සිල්වා විසින් මෝහනයට ලක්කරනු ලදුව මෝහන ප්‍රතිගමනය (Hypnotic regression) මගින් තරුණ සහ ළමා විය ඔස්සේ මව් කුස දක්වාම සිය මතකය අවදි කරගත් ඇය ඉතා පහසුවෙන් තම ඉහත ආත්මය වෙත පිවිසියා ය. එහිදී ඇය තම සිහින් සිරුර ඒ මේ අත අඹරවන්නට වූයේ කිසියම් වේදනාකාරී බවක් පළ කරමිනි.

‘‘ඔබ කවුද?’’

ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා විසින් ප්‍රශ්න කිරීම සඳහා අවස්ථාව ලබාදුන් පසු මම එම කාන්තාවගෙන් ඇසීමි.

‘‘මම හැපින්නක්.’’

ඇය එලෙස ඇඹරෙන අතරේම මහත් අපහසුවකින් මෙන් කීවා ය.

‘‘ඔය හැපින්න කොයි පළාතේද ජීවත් වුණේ?’’

ආචාර්ය නෙවිල් ද සිල්වා මහතාගේ මෝහන විධානයෙන් නිසල බවට පත් ඒ කාන්තාවගෙන් මම ඇසීමි.

‘‘කැලේක.’’

ඇය මිමිණුම් හඬින් කීවා ය.

‘‘ඒක තෙත් වනාන්තරයක්ද නැත්නම් වියළි වනාන්තරයක්ද?’’

මම ඇසීමි.

‘‘වියළි.’’

ඇය මිමිණුවා ය. මගේ පටිගත කිරීමේ යන්ත්‍රයේ සටහන්ව ඇති අන්දමට ඉන්පසුව අප අතර පැවති සංවාදය මෙසේය.

ප්‍රශ්නය : ඔය වියළි වනාන්තරය තිබුණේ කොහේද?

පිළිතුර : අනුරාධපුරේ.

ප්‍රශ්නය : හැපින්න කොහොමද දැනගන්නේ ඒ අනුරාධපුරය බව?

පිළිතුර : චෛත්‍ය තිබුණනේ.

ප්‍රශ්නය : අනුරාධපුර අටමස්ථානයට සම්බන්ධ ඒවා?

පිළිතුර : ඔව්.

ප්‍රශ්නය :  හැපින්න   හඳුනාගත්තාද ඒ අටමස්ථාන බව?

පිළිතුර : ඔව්.

ප්‍රශ්නය : එතකොට හැපින්න ඒ කාලේ වතුර හොයාගත්තේ කොහෙන්ද?

පිළිතුර : මල්වතු ඔයෙන්.

ප්‍රශ්නය : එතකොට හැපින්න දැනගෙන සිටියා ඒ මල්වතු ඔය බව?

පිළිතුර : ඔව්.

ප්‍රශ්නය : හැපින්න ඒ කාලේ මිනිස්සු කී දෙනෙකුට දෂ්ඨ කළාද?

පිළිතුර : දෙන්නෙකුට.

ප්‍රශ්නය : දෙන්නම ගැහැනු?

පිළිතුර : නෑ. පිරිමි.

ප්‍රශ්නය : දෙන්නම මැරුණද?

පිළිතුර : නෑ. එක්කෙනයි මැරුණේ.

ප්‍රශ්නය : ඒ තැනැත්තා මියගිය බව හැපින්න කොහොමද දැනගත්තේ?

පිළිතුර : ඒ වෙලාවේ මගේ දළවල උග්‍ර විෂක් තිබුණා.

ප්‍රශ්නය : හැපින්න ඒ තැනැත්තාගේ මළගෙවල් පැත්තෙන් යන්න ඇති?

පිළිතුර : මතක නෑ.

ප්‍රශ්නය : ඒ තැනැත්තාට දෂ්ඨ කරන්න හැපින්නගේ හිතේ ඒ තැනැත්තා ගැන මොකක් හරි වෛරයක් තිබුණද?

පිළිතුර : මතක නෑ.

ඉන්පසුව එම කාන්තාවගෙන් අසන ලද ඇතැම් පැන හමුවේ නිහඬ වීමටත් අතැම් පැනවලට මතක නෑ යනුවෙන් පිළිතුරු දීමත් නිසා ඇගේ ඉහත ආත්මයේ විස්තර එතැනින් ඔබ්බට දැනගත නොහැකි අයුරක් මට වැටහුණි.

මෙහිදී ආචාර්ය නෙවිල් ද සිල්වා මෝහන ප්‍රතිගමනය මගින් ඉහත ආත්මයට කැඳවාගෙන යන ලද්දේ තිස්පස් වියැති විවාහක කාන්තාවකි. ඇය මෝටර් සයිකල් කෙරෙහි අසීමාන්තික බියක් පළ කරන (Motorcyclophobia] බැවින් ඇගේ සැමියා විසින් ඇයව ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා වෙත යොමුකොට තිබිණි. එහිදී මෝහනය ඔස්සේ ඉහත ආත්මයට පිවිසි ඇය කියා සිටියේ තමන් යටියන්තොට පරුස්සැල්ල ප්‍රදේශයේ ජීවත් වූ ‘හේමා’ නම් කාන්තාවක බවයි. වයස අවුරුදු තිස්පහේ දී තම සැමියා සමග මෝටර් සයිකලයෙන් කොළඹ ආ විටෙක පුරහල අසලදී එය බස් රථයක ගැටී තමන් එහිම මරණයට පත්වූ අයුරු ඉදිරිපත් කිරීමටද ඇය සමත් විය. එම අනතුරට ලක්වීමේ විස්තරය ඇය විසින් ගෙන හැර දක්වන ලද්දේ මෙලෙසිනි.

‘‘ඒ වෙලාවේ පාරේ හරියට වාහන තිබුණා. මහත්තයයි මායි, ටවුන් හෝල් එක පැත්තට යනකොට ඉස්සරහින් ආපු බස් එකක් අපේ බයික් එකේ හැප්පුණා. ඒ වේගෙට මාව විසිවෙලා ගිහින් වැටුණා. එතකොටම පාරේ යමින් තිබුණු ලොරියකට මාව යට වුණා. ඔළුවමයි යට වු‍ණේ. ඊටපස්සේ මාව එක පාරටම අහසේ පාවෙන්න පටන් ගත්තා. එතැනට මිනිස්සු එකතු වෙන හැටි, මගේ මහත්තයා මගේ මිනිය බදාගෙන විලාප නගන හැටි මේ සේරම මම අහසේ ඉඳලා බලාගෙන හිටියා. ඊටපස්සේ මගේ මිනිය ලොරියක දාගෙන මිනී කාමරේට ගෙනියන හැටිත් මම දැක්කා.’’

ඉන්පසු ඇය හා මහාචාර්ය නාමල් විජයසිංහ අතර පැවති සංවාදය මෙලෙසිනි.

ප්‍රශ්නය : ඔය සිද්ධිය වුණු අවුුරුද්ද හරියටම කිව්වොත්?

පිළිතුර : එක්දාස් නවසිය පනස් හයේ.

ප්‍රශ්නය : මාසයයි දවසයි?

පිළිතුර : හරියට මතක නැහැ.

ප්‍රශ්නය : ඔය අනතුර සිද්ධ වුණු තැන හරියටම කියන්න?

පිළිතුර : සලාකා එක ඉස්සරහ.

නමුදු එක්දහස් නවසිය පනස් හයේ එවැනි ව්‍යාපාරයක් එහි නොතිබිණි.

ප්‍රශ්නය : මෝටර් සයිකල් එකේ හැප්පුණු බස් එක ලංගම එකක්ද පෞද්ගලික එකක්ද?

පිළිතුර : සී.ටී.බී.

ඇය එසේ ප්‍රකාශ කළ ද බස් ජනසතුව ඔස්සේ ලංකා ගමනාගමන මණ්ඩලය හෙවත් ලංගමය අරඹන ලද්දේ ඉන් දෙවසරකට පසුව 1958 වසරේ ජනවාරි 01දාය.

ඒ ආකාරයට ඔවුන් මෝහනය වී හෙලිකළ තොරතුරු සැබෑ යථාර්ථයත් සමග සැසඳීමේදී මෙම කාන්තාවන් දෙදෙනා තම ඉහත ආත්මයන් ලෙස හෙළි කරන ලද්දේ හුදෙක් සිය යටි සිත්වලින් පැන නැගි පරිකල්පන බව පැහැදිලි ය. තමන්ගේ දිවි පැවත්ම උදෙසා වන සහජතාවය පමණක් හිමි සර්පයන් තුළ බුද්ධියක් නොමැති වීමේ පසුබිමක් තුළ එම කාන්තාව කී හැපින්නට තමන් හැපින්නක බව සේම අනුරාධපුර අටමස්ථානය හා මල්වතු ඔය පිළිබඳව සේම තමන් දෂ්ඨ කළ දෙදෙනාගේ ලිංග භේදය පිළිබඳව පවා දැනීමක් තිබූ බව පැවසීම විහිළුවකි.

එමෙන්ම මෙම මෝහනයට පත් දෙවන කාන්තාව කී පිරිදි එම යුගයේ මෝටර්සයිකලය අද මෙන් කාන්තාවන් ගමන්ගත් ජනප්‍රිය වාහනයක් නොවූ අතර ඇය විසින් දක්වන සමකාලීන තොරතුරුවල බරපතළ පරස්පරතා තිබේ.

‘‘මෝහනයෙන් කෙනෙකුව අතීතයට වගේම අනාගතයටත් යවන්න පුළුවන් නේද?’’

එම රසවත් අත්දැකීමෙන් පසු මම ආචාර්ය නෙවිල් ද සිල්වාගෙන් විමසුවෙමි. ඒ අනුව ඔහු මෝහනයට පත්කළ කාන්තාවක සහ පිරිමියෙකු මෝහන විධානය මගින් වසර දහයක් අනාගතයට යැවූ අතර, 2012 වසරේ ගාලු මුවදොර පිටියේ තත්ත්වය විමසා බලන මෙන් 2002 වසරේදී වසර දහයක් අනාගතයට ගොස් සිටින ඔවුනට කීවෙමි. එවිට මෝහනයට පත් කාන්තාව කියා සිටියේ එම වසරේ ගාලු මුවදොර පිටියේ තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිවී ඇති බවකි. මෝහනයට පත් පිරිමියා කියා සිටයේ කොළඹ කොටුවේ ලෝක වෙළෙඳපොළ ඒ වනවිට ගාලු මුවදොර පිටියට ගෙනැවිත් ඇති බවකි. මෝහනය තුළ මිනිස් යටි සිතෙන් මතුවන අතීතය හා අනාගතයට හා සම්බන්ධ පරිකල්පන සත්‍ය වශයනේ පිළිගන්නා විශාල පිරිසක් තවමත් අප අතර සිටිති. නමුත් මෙහි ඉතා කෙටියෙන් දක්වා ඇති සිදුවීම් දෙක ආධාරයෙන්ම ඒවා කොතරම් දුරට සත්‍ය හෝ අසත්‍යයද යන වග වටහාගැනීම ඔබට අපහසු නොවනු ඇත.

තිලක් සේනාසිංහ

[ඡායාරූපය:මෝටර් සයිකල් අනතුරට පත් වූ බව කී කාන්තාව ඒ අවස්ථාව නිරූපනය කළ අන්දම මහාචාර්ය නාමල් විජයසිංහ සහ මෙහි ලේඛකයා ද ඡායාරූපයේ වෙති].

Similar Posts