අතිශය දුෂ්කර වකවානුවේ ආණ්ඩුව වැටෙයිද?

duskara

ශ්‍රී ලංකාව පසුකරමින් සිටින්නේ අතිශය දුෂ්කර වකවානුවකි. රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණදෙමින් සිටියි. අඩුවන ඩොලර් ආදායම අනුව ආනයන සීමාකිරීමට සිදුවී තිබේ. එහෙයින් වෙළඳපොළේ සුවිශාල භාණ්ඩ හිඟයක් තිබේ. එය වැළැක්විය නොහැකි තත්වයකි. ආනයනික භාණ්ඩ හිඟය ඇතැම් අපනයනවලට බලපෑමක් කරයි. ඒ හැරෙන්නට, ජන ජීවිතයේ පාරිභෝජනවාදය සීමාවීම හැර අනෙක් බරපතල බලපෑමක් දැනට එයින් සිදුවී නැත. උදාහරණයක් ලෙස, වාහන ආනයනය නැවතී අවුරුදු දෙකක් පමණ වුවද, රටේ වාහන හිඟයක් නැත.

සහනාධාර, මිල පාලනය ආදිය අවසන් වෙමින් තිබේ. නුදුරු දිනෙකම ශ්‍රී ලංකාවට ඉන්ධන මිල නැවත වැඩිකිරීමට සිදුවනු ඇත. ඒ සමගම තවත් වටයකින් උද්ධමනය ඉහළ යනු ඇත. ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණදෙනු ඇත. ඒ සමගම කම්මැලිකම් ඉවත දමා වැඩකරන්නට ද ඔවුන්ට සිදුවනු ඇත. ප්‍රශ්නයෙන් පළායන්නට රට හැර යන්නට මවන සිහින එතරම් සාර්ථක නොවනු ඇත.

පොහොර ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව ආනයනය කරනු ලබන පොහොර මෙට්‍රික් ටොන් ගණන ලක්ෂ 13ක්ට වැඩිය. ඒ වෙනුවෙන් විදේශ විනිමය වශයෙන් වැය කරන මුදල රු. බිලියන 60ක් පමණ වේ. මේ අතරින් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ වී වගාවට ද ඉතිරි ප්‍රමාණය සෙසු වගාවන්ට ද භාවිතා වේ. මෙම පොහොර ආනයන වියදමෙන් බිලියන 30කට වඩා රජය සහනාධාර ලබාදෙයි.

රජයට මෙම සහනාධාරය කප්පාදු කිරීමේ උවමනාවක් තිබිණි. ඒ සඳහා සහනාධාර පිණිස කොම්පෝස්ට් පොහොර ලබාදීමේ වැඩසටහනක් රජය ආරම්භ කළේය. එහෙත්, ඒ අතරට, රසායනික පොහොර භාවිතය 100%ක් අත්හැර දැමූ ලොව පළමු රට වීමේ මුග්ධ සිහිනයකට උර දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රසායනික පොහොර හා කෘෂි රසායනික තහනම් කර කෘෂිකර්මාන්තයේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය කර තිබේ. ඒ සමගම ආහාර නිෂ්පාදනයේ අඩුවීමක හා තේ, රබර්, කුරුඳු වැනි අපනයන බෝගවල අස්වනුවල අඩුවක් ද සිදුවීමේ අවදානමක් මතුවී තිබේ. එහෙත්, ආණ්ඩුව එම සිහිනය අතහරින බවක් පෙනෙන්නේ නැත. ඒ නිසා ඒ දෙස සුබවාදීව බලන්නට මම උත්සාහයක් දරමි.

පොහොර තහනම පසුබිමේ තිබෙන ආර්ථික මූලෝපාය තේරුම්ගැනීමට කිසිවකු උත්සාහ කරන බවක් දක්නට නොලැබේ. එවැනි මූලෝපායක් තිබේ නම්, එය ජනතාවට පැහැදිලි කරදීමට ආණ්ඩුව ද අසමත්ය. කෙසේ වෙතත්, මගේ විග්‍රහය අනුව නම්, ආණ්ඩුව කෘෂිකර්මාන්තයේ විප්ලවීය පරිවර්තනයකට මග විවර කර තිබේ.

ඒ අනුව, සහනාධාර මත රඳාපවතින, නොමිලේ දෙන වාරි පහසුකම්වලින් වගාකරන, නියාමනයකින් තොරව අධික ලෙස කෘෂි රසායනික යොදන සුළු ගොවිතැන විනාශ වී යනු ඇත. සියවසක් පමණ කාලයක් තිස්සේ කොපමණ සහනාධාර දුන්නත් දිළිඳුකමින් ගොඩ නොයන ගොවියා ගොවිතැනෙන් ද ඉවත් වී වෙනත් ජීවනෝපාය වෙත යොමුවනු ඇත. ඒ අතරවාරයේ වෘත්තික මට්ටමේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ ගොවි ව්‍යවසායකත්වයකට අවස්ථාව ලැබෙනු ඇත. ජීවනෝපායෙන් අවතැන් වූ ගොවීන්ට එම ව්‍යවසායන්ගේ ලාභ ශ්‍රමික කෘෂි කම්කරුවන් බවට පත්වීමට හැකිය.

පරිපූර්ණ කාබනික ගොවිතැන ප්‍රායෝගික යථාර්ථයක් නොවේ. දැනටත් රජය පාලනයක් සහිතව කෘෂි රසායනික සඳහා අවසර ලබාදී තිබේ. කෙසේ වෙතත්, ඊනියා රසායනික විරෝධය කෘෂිකර්මාන්තයේ සිදුවන පරිවර්තනයට මනා ආවරණයක් සපයයි. එමගින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රමය මුළුමනින්ම විනාශ කර අලුතින් ප්‍රතිව්‍යූහගත කරනු ඇත. එය අත්‍යවශ්‍ය, විප්ලවීය පියවරකි. එහෙත්, එය අතිශය වේදනාකාරීය. වෙනස කොහොමත් අමාරු දෙයකි. ඇතැම්විට එය දැන් අප සිතන තරම් දුෂ්කර නොවන්නට ද පුළුවන. කෙසේ වෙතත්, අප වෙනසට විරුද්ධ විය යුත්තේ ඇයි?

අසුබවාදී කාරණා අමතක කළහොත්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ මේ සිදුවන පෙරළිය සමග සමාන්තරව දේශීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නංවාගැනීමටත්, අලුත් වෙළඳපොළවල් නිර්මාණය කරගැනීමටත් අවස්ථාවක් තිබේ. ඒ සමගම රජය දැන් සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව හා රුසියාව යන රටවල් ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ප්‍රධාන කාරණයක් වන්නේ එන්නත්කරණයේ සාර්ථකත්වයයි. කෘෂිකර්මාන්තයේ සිදුවෙමින් තිබෙන පරිවර්තනය ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගත හැකිය.

මේ සියල්ල අතරමැද 2022 ජනවාරියේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණය ආපසු ගෙවන්නට තිබේ. ජුලි මාසයේදී ගෙවන්නට ඩොලර් බිලියනයක් තිබේ. ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙනුවෙනි. පසුගිය සැප්තැම්බර් අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.5 දක්වා අඩුවී තිබේ.

රාජ්‍ය දේපල විකිණීමෙන්, බදුදීමෙන් හා ආයෝජන කැඳවාගැනීමෙන් ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ලංකාවට ගෙන්වාගැනීමට රජය සැලසුම් කර තිබෙන බව මහබැංකුව පවසයි.

එයට අමතරව, ඉන්දියාව, චීනය හා මැද පෙරදිග රටවල් කිහිපයකින් මුදල් හුවමාරු කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වේ. මේ වන විට ඉන්දියාව පැත්තෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බව පෙනේ.

චීනය ශ්‍රී ලංකාව යම් දුරකට අත්හැර ඇති බවක් පෙනෙන සංදර්භය තුළ ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3.6ක දිගුකාලීන ණයක් ලබාගැනීමට පවා සාකච්ඡා කරමින් ඇති බව වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ උන්නතිකාමී පරිවර්තනීය මූලෝපායන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශ සහයෝගය මතය. ණය ආපසු ගෙවීමට අපොහොසත්වීම වළක්වාගැනීම සඳහා එය අත්‍යවශ්‍යය. එසේම, රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 5%ක් වූ සංචාරක කර්මාන්තය යළි පණගන්වාගැනීමට ද රජය සමත් විය යුතුය.

දේශීයව දරුණු අර්බුදයන් රැසක් නිර්මාණය වීම වළක්වාගත නොහැකිය. එහෙත්, බොහෝ අරගලවලට විසඳුම් ලබාදීමේ ප්‍රායෝගික හැකියාවක් රජයට නැත. විශේෂයෙන්ම රාජ්‍ය අංශයෙන් විවිධ වැටුප් අරගල මතු වුව ද ඒ කිසිවක් ජයග්‍රහණය කරන්නේ නැත. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව එන්න එන්නම පිරිහෙන අතර රාජ්‍ය සේවකයන් දැඩි ඉච්ඡා භංගත්වයට පත්වනු ඇත.

රජය ආයෝජන වැනි අත්‍යවශ්‍ය කාරණාවලදී රාජ්‍ය අංශය මගහැර යාමට ක්‍රම හා විධි නිර්මාණය කරගනු ඇත. ඒ හැර රාජ්‍ය අකාර්යක්ෂමතාවේ සෙසු බර පැටවෙනු ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ කර මතය.

ගොවි අරගලවලට ද වැඩි ආයුෂක් නොමැති අතර, දක්ෂ ගොවීන් අලුත් තත්වයන්ට හැඩගැසීමේලා සමත් වනු ඇත. සෙසු අය ගොවිතැන අතහැර දමනු ඇත. එය ද එතරම් නරක තත්වයක් නොවේ. එය කර්මාන්ත සංවර්ධනයට මෙන්ම පරිසර සංරක්ෂණයට ද, සංචාරක කර්මාන්තයට ද හිතකර තත්වයක් වනු ඇත.

අලුත්, අලුත් අරගල හා ආණ්ඩු විරෝධයන් මතුවනු ඇත. එහෙත්, කිසිදු විපක්ෂ බලවේගයකට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට තිබෙන එඩිතර හා රැඩිකල් ශක්තිය හා දරාගැනීමේ හැකියාව නැති බැවින් විකල්ප බලයක් නිර්මාණය වන බවක් නොපෙනේ. මේ ආණ්ඩුව දූෂිත බව ඇත්තය. එහෙත්, ඉතිහාසයේ මෙතෙක් පැවති ආණ්ඩුවලට වඩා අමුතු දූෂිතබවක් එහි නැත. ආණ්ඩුවට තිබෙන ලොකුම වාසිය විපක්ෂය ඉතා දුර්වල වීමයි. අනෙක් පැත්තෙන්, විපක්ෂයට පමණක් නොව, සිවිල් සමාජයට පවා ජනප්‍රිය ආණ්ඩු විරෝධයෙන් ඔබ්බට ගිය දැක්මක් ඇති බවක් නොපෙනේ.

අජිත් පැරකුම් ජයසිංහ, 2021-10-31 අනිද්දා පුවත්පතට ලියූ ලිපියකි

praja

lanka gossip sinhala news

Related posts