නිවෙස් ඉදිරියේ “සොහොන් මල්” පිපීම කොරෝනා මරණ පිළිබඳ පෙර නිමිත්තක්ද?

sohon-mal

සොහොන් පිටිවල සරුවට වැඩෙන මල් පඳුරක් ගණේමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක් ඉදිරියේ හිටි හැටියේ ඉබේටම පැලවී මල් පීදෙන්නට පටන්ගැනීම ගෙහිමියන්ගේත් සමීප ඥාති හිතමිත්‍රාදීන්ගේත් දැඩි අවධානයට ලක්ව තිබිණ.

ඒ එම මල් පිපී දින කිහිපයකට පසු එම ඉඩමේ තිබූ සෙසු නිවාස තුනෙන් දෙකක සය දෙනෙකුම කොවිඩ් ආසාදනයකට ලක් වීම නිසා ය.

ඒ අනුව ඔවුන් වහා ප්‍රතිකාර සඳහා යොමු කරන ලදී. සොහොන් මල් නැතහොත් මූසල මල් වශයෙන් හැඳින්වෙන එම ශාක විශේෂය නිවසක් ඉදිරියේ ඉබේටම වැවෙන්නට පටන්ගැනීම සොහොන් ළකුණු පහළ වීමක් හෙවත් මරණයක පෙරනිමිත්තක් බැවින් එම රෝගීන් එම මාරාන්තික උවදුරින් මුදා ගනු පිණිස එම ගස් මුල් පිටින්ම ගලවා ගිනිතබා පුළුස්සා දමන ලෙස ඇතැමුන්ගෙන් ගෙහිමියන්ට උපදෙස් ලැබී තිබිණි.

ඔවුන් පැවසූ අන්දමට එම ශාක විශේෂය එම ප්‍රදේශයේ සුසාන භූමි ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන්නකි. මීට කලකට ඉහත ගණේමුල්ල, තිබ්බටුගොඩ පොදු සුසාන භූමිය මෙම මල් ගස්වලින් පිරී පැවති අයුරු මට ද මතක ය. එබැවින් එහි මල් පිපෙන කාලවල උදෑසනට එම සොහොන් පිටිය එකම මල් යායක් සේ දිස්විය.

නමුත් අද වනවිට එම සොහොන් බිමට කඩාවැදී ඇති ගිනි තණ ( Panicum Maximum) නම් ආක්‍රමණික ශාකය නිසා ඒ සොඳුරු දසුන මුළුමනින්ම පාහේ අහිමිවී තිබේ.නමුදු සොහොන් බිමේ දොරටුව අද්දර එම ශාකය තවමත් දැකිය හැක.

මීට අමතරව ගලහිටියාව, බුළුගහගොඩ, මාකිලංගමුව ආදී තදාසන්න පොදු සුසානභූමි ආශ්‍රිතව ද මෙම සෙහොන් මල් අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ.නමුත් මේවා ලොව බොහෝ රටවල සුසාන භූමි ආශ්‍රිතව දක්නට ලැබෙන  සොහොන් මල් නොවේ.ඒ දම් සහ සුදු පැහැයන්ගෙන් මල් පුබුදන පුෂ්පීය ශාඛයකි.

මැඩගස්කරය නිජබිම කොටගත්  Catharanthus Roseus යනුවෙන් හැඳින්වෙන එය අද වනවිට වින්කා රෝසියා නමින් විසිතුරු මල් වගාකරුවන් අතරේ අතිශය ජනප්‍රිය වී තිබේ. විශේෂයෙන් වැල් වශයෙන් සකස්කොට ඇති ඒම ශාක විශේෂය එම රටවල ඉහළ මධ්‍යම පාන්තික නිවාසවල සඳළුතල අලංකාර කිරීම පිණිස ද යොදාගෙන ඇත. එම මිනී මල සඳහා වූ පොදුජන අකමැත්ත හා බිය එතැනින්ම අහවරය.

නමුදු මෙවර මගේ අවධානයට ලක්වූ ‘සොහොන් මල’ එබඳු ජනප්‍රිය ශාක විශේෂයක් නොවේ. පැනමාවේ සිට දකුණු බ්‍රසීලය තෙක් දකුණු හා මධ්‍යම ඇමෙරිකාව නිජබිම කොටගත් මෙය ලොව පුරා වඩාත් ප්‍රකට වී ඇත්තේ සුදු බටර් බඳුන (White butter cup) යනුවෙනි. මෙම මලේ පෙතිවල ඇති සුදු පැහැය හා මධ්‍යයෙහි ඇති කහ පැහැය මුල්කොට එය සුදු පැහැති බටර් බඳුනක් සේ දිස්වීම ඊට හේතුවය.

ටර්නෙරා සුබුලටා (Turnera Subulata) යනුවෙන් උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන මෙම ශාකය එක්සත් ජනපදය, කැරිබියන් සහ ෆ්ලොරිඩා ෆැසිපික් දූපත්වල මෙන්ම මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල ද  ව්‍යාප්තියක් පළ කරයි.

. එහෙත් අප රටේදී අතිශය ආගන්තුක බවක් පළකරන මෙම ‘සුදු බටර් බඳුන’ ශාකය පිළිබඳ තොරතුරක් ජාතික ශාකාගාරයෙන් වත් දැනගත නොහැක.ඒවායේ ව්‍යාප්තියක් පළ කරන ප්‍රදේශ තබා එම ශාකය හැඳින්වීම  සඳහා යොදන සිංහල නමක්වත් සොයාගත නොහැකි යැයි ජාතික ශාකාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඇතැමෙකු කියා සිටියේ මෙය ‘ඉන්වාටියා’ යනුවෙන් හැඳින්වෙන බවකි. අප රටේ ඇතැම් ප්‍රදේශවල පමණක් දක්නට ලැබෙන මෙය මෙහිදී සොහොන් මලක් වශයෙන් හැඳින්වුවද ලොව කිසිම තැනක මෙය සොහොන් පිටි ආශ්‍රිතව වැවෙන හෝ වගා කෙරෙන බවට තොරතුරු නැත. මීටරයකට ආසන්න උසක් දක්වා වැඩී හිමිදිරියේ පිපෙන මෙහි මල් මධ්‍යාහ්නය උදාවීමටත් පෙර සිට හැකිළී
යයි.

අවමඟුල් කටයුතු කෙරෙන සවස් යාමවල මෙහි සුන්දරත්වය දැකිය නොහැකි බැවින් සොහොන් මල් ලෙස භාවිතයට නොගන්නා මෙය ප්‍රචලිතව ඇත්තේ උද්‍යාන මලක් ලෙසිනි. නිවර්තන තෙත් සේම වියළි කලාපවලද කිසිදු පොහොරක් හෝ සාත්තුවක් නොමැතිව
පඳුරු වශයෙන් සරුවට වැවෙන මෙම ශාකය කිනම් කලෙක, කුමන කරුණක් මුල්කොට කිනම් පාර්ශවයක් විසින් අප රටට ගෙනෙන ලද්දක් දැයි අවිනිශ්චිත ය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සුසාන භූමි ආශ්‍රිතව නිරීක්ෂණය වුවද මෙම ශාකය පිළිබඳ විස්තරයක් කීර්තිමත් ශ්‍රී ලාංකේය උද්භිද විද්‍යාඥයෙකු වන හිටපු ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් හරිශ්චන්ද්‍ර පෙරමුණුගම මහතා විසින් සකස් කරන ලද ගම්පහ දිස්ත්‍රික්කයේ වෘක්ෂලතා ලේඛනයටවත් ඇතුළත්ව නැත.

පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී, ආගන්තුක ශාක විශේෂ ලේඛනයේ සඳහන් ශාක තිස් දෙකට පවා ඇතුළත් නොවීමෙන් මෙය අපගේ පරිසරයට, ආර්ථිකයට සහ සමාජයීය ජීවිතයට අනිසි බලපෑම් කරන ආක්‍රමණශීලී ශාකයක් නොවන බවද පෙනී යයි.

එහෙත් මෙය ශ්‍රී ලංකාවේ සුසාන භූමි ආශ්‍රිතව වැඩි ව්‍යාප්තියක් පළකිරීමට හේතු නම් අවිනිශ්චිතය.

ශ්‍රී ලංකාවේ විසිතුරු ශාක අතරේ කිසිදු තැනක් නොමැති වුවද මීට දස වසරකට පමණ පෙර මෙම ශාකය රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ මාර්ගාලංකරණ ශාකයක් ලෙස වවා ඇති අන්දමද මා හට නිරීක්ෂණය වී තිබේ.

එමෙන්ම එහි විස්මයට කරුණ නම් මෙම මල හැඳින්වීම පිණිස ඇතැම් රටවල දේශපාලනඥයාගේ මල (Politician`s flower) යන නම ද යොදා තිබීමය. මීට අමතරව අවිස්සාවේල්ල, සීතාවක තෙත්බිම් කලාපීය උද්භිද උද්‍යානයේ ද ඉතා දැකුම්කළු මෙම සොහොන් මල් පාන්තියක් තනා ඇති අතර, පෙරවරුවේ සේයාරුවට නංවනු ලබන ‘ප්‍රී ෂූට්’ ඡායාරූපවල පෙනී සිටින විවාහාපේක්ෂිත මනාල මනාලියන්ට පසුබිමින් එම “සොහොන් මල්”වල සැබෑ සොඳුරු දසුන දස දහස් වරක් කැමරාගත වී ඇති බව නිසැක ය.

මෙවන් තත්ත්වයක් යටතේ ආතක්-පාතක් නොමැතිව ශ්‍රී ලංකාවට කඩාවැදුණු බවක් පළකළ මෙම ‘සුදු බටර් බඳුන’ නම් අහිංසක සැබැ සොඳුරු පුෂ්පීය ශාකය දශක හෝ සියවස් කිහිපයක් තුළ අප ජන සමාජයෙන් එල්ල වූ නොසලකා හැරීම් මත සොහොන් පිටි තුළට වැදී තම පණ රැකගත් බවක් මට හැඟෙයි.

එමෙන්ම ගණේමුල්ලේ ඉදිවන නව නිවස ඉදිරිපිටම මෙම ශාකය පතිතකොට ඇත්තේ එම ඉඩමේ පදිංචි නිවැසියන්ට “සොහොන් ළකුණු”පෙන්වූ යක්ෂයක්, භූතයන් විසින් නොව මේ වන විට එම ගෙමිදුලට වැලි කියුබ් තිහ, හතළිහක් ගෙනවිත් හලන ලද වැලි ලොරිකරුවන් විසින් බව නිසැකය.

මක්නිසාදයත් මෙය විසිකරන ලද කුඩා නටු කැබැල්ලකින් වුව පහසුවෙන් පැලවී සොඳුර මල් පුබුුදන අහිංසක ශාකයන් බැවිනි. මේ සියලු තත්ත්වයන් යටතේ එම  සොහොන් මල් නමින් අවමන් ලබන සැබෑ සොඳුරු සුදු බටර් බඳුන කුසුමියන් නිරුපද්‍රිතව එම ගෙමිදුලේ පිපී හිනැහෙන අතරේ කොවිඩ් රෝගය වැළඳී වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වූ එම සය දෙනාම සුවය ලබා යළි නිවෙස් වෙත පැමිණියහ.

ඒ මරණයේ සංකේතයක් සේ බොහෝ දෙනා සිතා සිටින සුදු බටර් බඳුන ශාකය ජීවිතාරක්ෂාවේ සංකේතයක් බව ප්‍රායෝගිකවම සනාථ කරමිනි.

තිලක් සේනාසිංහ

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….