මේ රට ගොඩනැඟීම තනි තනි පුද්ගලයන්ගේ විශ්වකර්ම වැඩක් නොවෙයි

anura-kumara

ඇමැති බැසිල් රාජපක්ෂ කියන පරිදි මේ අවුරුද්දේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.9ක් තබාගෙන එය ඩොලර් බිලියන 19 දක්වා වැඩි කරන්න ඔහුට හැකිනම් ඔහු විශ්වකර්මයෙක් යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

“නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම අය-වැය විවාදයට සම්බන්ධ වීම සඳහා මට කාලය ලබාදීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. දැන් තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව මම කියන්නම්. මම දැක්කා එක සටහනක් තිබුණා,” තාත්තා තෙල් පෝලිමේ, අම්මා ගෑස් පෝලිමේ, දුව කිරි පිටි පෝලිමේ, පුතා පාස්පෝට් පෝලිමේ’ කියලා.

ඒ කියන්නේ මේ ආර්ථිකය පවුලකට දැනෙන ආකාරය තමයි එයින් පිළිබිඹු වන්නේ. ඒ වාගේම ගොවි ජනතාව තමන්ගේ සාධාරණ ඉල්ලීම් පෙරටු කොටගෙන පාරට ඇවිල්ලා තිබෙනවා. සාමාන්‍ය ජනතාව තමන්ගේ ජීවන වියදම දරා ගන්න බැරිව අඳෝනා නඟමින් තිබෙනවා. ඒ වාගේම මම දැක්කා, බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා කියනවා විශාල ඩොලර් හිඟයක් තිබෙනවා, අනාගතයේදී තෙල් ගෙන්වා ගැනීමට අපහසුතාවක් ඇති වෙයි කියා.

තෙල් සංස්ථාව භාර අමාත්‍යවරයා කියනවා විශාල කන්ටේනර් තොගයක් වරායේ හිරවෙලා තිබෙනවා. ගෙනෙන්න ඩොලර් නැහැ කියලා. ඒ වාගේම රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාත් බොහෝ කරුණු ඉදිරිපත් කළා. අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිතුමාත් බොහෝ කරුණු ඉදිරිපත් කළා.

මේ සියල්ලන්ගේම කරුණුවලින් පෙන්නුම් කරන්නේ රට විශාලතම ආර්ථික ප්‍රපාතයකට ඇදවැටී තිබෙන බවයි. අය – වැය ලේඛනයෙන් කළ යුතුව තිබුණේ මොකක්ද? මේ ජනතාව පත් වී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ඒම සඳහා කෙටි කාලීන සහ මේ ඇති වී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිගු කාලීන දැක්මක් යෝජනා කරන්නයි. මේ අය – වැය ලේඛනයෙන් කෙටි කාලීන දැක්ම හෝ දිගු කාලීන දැක්මක් නැති බව අපි කවුරුත් පොදුවේ පිළිගත යුතුයි.

අපේ රට විශාල ඩොලර් හිඟයකට මුහුණ දීලා තිබෙනවා. දිගු කාලයක් තිස්සේ අපි අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිවිපාකවලට අද අපි මුහුණ දීලා තිබෙනවා. ඉතිහාසයේ බරපතළම විදෙස් සංචිත කඩා වැටීමට ලක් වී තිබෙනවා.

ඉදිරි මාස හතර සංසන්දනය කර බැලුවොත් මේ වෙළෙඳ පරතරය බිලියන 8 ඉක්මවනවා. ඒ නිසා අපිට අතිරේක වශයෙන් භාණ්ඩ ආනයනය කර ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන 8ක් අවශ්‍ය වෙනවා. ඒ වාගේම රටක් ලෙස අපට අතිරේක වශයෙන් ණය වාරික ගෙවීම සඳහා වසරකට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 7ක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ කරුණු දෙකට පමණක් අපි ඩොලර් බිලියන 15ක් උපයාගත යුතුයි.

හැබැයි අපේ ඩොලර් ලැබෙන මාවත්වලට මොකක්ද සිදු වී තිබෙන්නේ? මා දැක්කා මුදල් අමාත්‍යතුමා කියනවා මේ අවුරුද්දේ ඩොලර් බිලියන 11.9ක අපනයන ආදායමක් ඔහු අපේක්ෂා කරනවා කියලා. ඔව්, එතැනට යන්න පුළුවන් වේවි. හැබැයි අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20ට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීම වළක්වන්න බැහැ.

ඒ නිසා අපේ අපනයන ආදායම වර්ධනය වෙනවාට සාපේක්ෂව අපේ ආනයන වියදම වර්ධනය වීම ඊට වඩා වැඩිවෙලා තිබෙනවා. එය තිබෙන්නේත් ඉතාම අහිතකර තත්ත්වයකයි. ඒ වාගේම අපට ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් වුණේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ලැබීම්. ඔබතුමා දන්නවා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ලැබීම් ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 7.5ක, ඩොලර් බිලියන 7.8ක වගේ ප්‍රමාණයක් අපිට ලැබුණා. නමුත් මේ අවුරුද්දේ එය විශාල ප්‍රමාණයකින් කඩා වැටෙමින් තිබෙනවා.

ඒ නිසා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආදායම ඩොලර් බිලියන 6ත්, 6.5ත් අතර ප්‍රමාණයක තමයි රැකෙන්නේ. අපට ඩොලර් බිලියන 15ක් අවශ්‍ය වී තිබෙනවා. මෙය උපයා ගන්නේ කොහොමද? ඒ සඳහා කෙටි කාලීන සැලැස්මක් අවශ්‍යයි. ඩොලර්වලින් හිඳුණු පතුලටම වැටිච්ච ආර්ථිකයක් අද අප හමුවේ තිබෙනවා. ඒ වාගේම අපේ නිෂ්පාදනය වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. කෘෂිකර්මාන්තය ගත්තොත් මා හිතනවා එහි විශාලම අර්බුදයක් නිර්මාණය විය හැකියි.

ඒ නිසා මේ රට තුළ ඇති වී තිබෙන දැවැන්ත ආර්ථික කඩා වැටීමටත් ඒ වාගේම ජනතාවගේ ජන ජීවිත තුළ ඇති වී තිබෙන විශාල බිඳ වැටීමටත් සාපේක්ෂව ගත්තොත් මේ අය වැය ලේඛනය ඒ සඳහා කිසිවක් නැති හිස් සහ පුස් දැක්මක් කියලා තමයි අපට කියන්න තිබෙන්නේ. මීට වඩා මේ අර්බුදය පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබුණා කියා මා විශ්වාස කරනවා.

ඊළඟට මුදල් අමාත්‍යවරයා වැදගත් කරුණක් ඉදිරිපත් කරනවා. ඊට අපි ස්තුතිවන්ත වෙනවා. දැනට මේ ඉදිරිපත් කර තිබෙන වැය ශීර්ෂවලට අමතරව කිසිදු වැය ශීර්ෂයක් පරිපූරක ඇස්තමේන්තු ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව.

මා හිතනවා මුදල් ඇමැතිතුමනි, ඔබතුමා පසුගියදා කරන ලද ඒ ප්‍රකාශය මේ විධියටම ලබන වසර පුරාම පවත්වා ගනීවි කියලා. හැබැයි ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද? ඔබතුමා අපේක්ෂා කරනවා කෝටි දෙලක්ෂ විසිදහසක ආදායමක්. ඔබතුමාට මේ පාර්ලිමේන්තුවට සහතිකයක් දෙන්න පුළුවන්ද ඒ ආදායම ලැබේවි කියලා.

කිසිසේත්ම සහතිකයක් දෙන්න බැහැ. ලබන අවුරුද්දේ ජූලි, අගෝස්තු වන විට යළිත් බිලියන 400ත්, 600ත් අතර ප්‍රමාණයකින් ණය සීමාව වැඩි කිරීම සඳහා සහතික වශයෙන්ම මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනවා. එතකොට ඔබද හරි මමද හරි කියලා බලමු.

අය-වැය ලේඛනයක් යම් ප්‍රමාණයකට අපේ රටේ ආර්ථිකයේත්, අපේ රටේ පුරෝකථනවලත් සාධාරණ යථාර්ථවාදී පිළිබිඹුවක් විය යුතුයි. හැබැයි මා විශ්වාස කරනවා කිසිසේත්ම සාධාරණ හා යථාර්ථවාදී පිළිබිඹුවක් මෙම අය-වැය ලේඛනයේ සංඛ්‍යා දත්ත තුළ නැහැ කියලා.

ඒ විතරක් නොවෙයි මා කියවපු ලේඛනයේ තිබුණේ බිලියන 19ක අපනයන ආදායමක් ඔබ ලබන අවුරුද්දේ (2022 අවුරුද්දේ) අපේක්ෂා කරනවා කියලයි.

රුපියල් බිලියන 19ක අපනයන ආදායමක්? මේ අවුරුද්දේ 11.9යි තිබෙන්නේ. ඒක 19 දක්වා වැඩි කරනවා නම් ඔබ විශ්වකර්මයෙක්. රටේ ජනතාව හැම වෙලාවේම ප්‍රාර්ථනා කරනවා විශ්වකර්මයා ඇවිල්ලා රට බේරයි කියලා. ඉන්ද්‍රජාලිකයා ඇවිල්ලා රට බේරයි කියලා. මන්තරකාරයෝ ඇවිල්ලා රට බේරයි කියලා. එහෙම රට බේරන්න බැහැ.

මේක ඉතාමත් සුන්දර රටක්. අපේ රටේ ජනතාව අතරේ ඉතාමත් සාමූහිකත්වයක් කුළුගන්වන්න පුළුවන් ආධ්‍යාත්මයක් තිබෙන රටක්. ඉතාමත් වාසනාවන්ත රටක්.

වර්ග කිලෝමීටර් 65,610ක ගොඩබිමක්, ඒකට අනූන වන පරිදි විවිධ දේශගුණික කලාප තිබෙන රටක්, විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙන රටක්, රට වාගේ අට ගුණයක මහ මුහුදක් තිබෙන රටක්. බුදු දහමෙන්, කිතුනු දහමෙන්, හින්දු දහමෙන්, ඉස්ලාම් ධර්මයෙන් පෝෂණය වුණු රටක්. ඒ වාගේම සොයා නොගත් විශාල සම්පත්වලින් පිරුණු රාජ්‍යයක්. අපේ මවුබිම ඇයගේ ඉතිහාසය අසරණභාවයට හෙළපු මවුබිමක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා.

දශක ගණනාවක් තිස්සේ අපේ රටේ දූෂිත කණ්ඩායමකගේ ග්‍රහණයට අපේ මවුබිම ලක් වෙලා තිබෙනවා. වරින් වර සාමූහිකව අපේ මාතෘ භූමිය දූෂණයට ලක් කර තිබෙනවා. ඒ දූෂණයේ ප්‍රතිවිපාක අෑත ගම්වල ජීවත් වන ජනතාව කර පිට පටවා තිබෙනවා.

මේකයි ඇත්ත යථාර්ථය. මේ මාතෘ භූමිය ගොඩ ගත යුතු නැද්ද? මේ මාතෘ භූමිය ගොඩගැනීම සඳහා නව මාවතකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. එය හුදු අය – වැය ලේඛනයෙන්, සංඛ්‍යා දත්තවලින්, පාර්ලිමේන්තු ඔළු ගෙඩිවලින්, තුනෙන් දෙකේ බලයෙන් නොවෙයි කළ යුතු වන්නේ. අපේ රටේ තීරණාත්මක දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි.

මොකක්ද දේශපාලන පරිවර්තනය? අපේ රට මේ වෙළාගෙන තිබෙන දූෂිත දේශපාලනය වෙනුවට අදූෂිත දේශපාලනයක් අපේ රටට අවශ්‍යයි. මේ රට මෙවැනි ප්‍රපාතයකට හෙළීම සඳහා විශාල පංගුවක් මේ දූෂිත දේශපාලනය විසින් ඉටුකොට තිබෙනවා.

මම ස්තුතිවන්ත වෙනවා මුදල් අමාත්‍යතුමාට, පළමු වතාවට මම හිතන්නේ එක් දූෂිත ගනුදෙනුවක රුපියල් බිලියන 8.5ක් (කෝටි 850ක්) රඳවාගෙන තිබෙනවා. එය මහා භාණ්ඩාගාරයට බැර කිරීම සඳහා යෝජනාවක් ගේනවා. බොහොම හොඳයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අයථා ලෙස උපයන ලද මුදල් කෝටි 850ක් නැවත භාණ්ඩාගාරයට කැඳවීම සඳහා එතුමා යෝජනා කරනවා.

හැබැයි එතුමාට අමතක වෙනවා පැන්ඩේරා පේපර්ස් මඟින් හෙළිදරව් වුණ තොරතුරු. ඇය ඥාති දියණිය නිසාද මම දන්නේ නැහැ නිරූපමා රාජපක්ෂ. එතැන තිබෙනවා කෝටි 3,500ක්. කෝ ඒ ගැන තමුන්නාන්සේගේ ස්ථාවරය?

ඒ වාගේම ලන්ඩන්වල හෙළිදරව් වුණා විශාල ගනුදෙනුවක්. අපේ රටට එයාර් බස් මිලදී ගැනීමේදී 2014 වසරේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරියගේ ගිණුමට ඩොලර් මිලියන 2ක් බැර කළා ප්‍රංශ එයාර් බස් සමාගමෙන්. ඇති තරම් තොරතුරු එකතු වී තිබෙනවා. හැබැයි තමුන්නාන්සේ ඒ යෝජනාව කරන්නේ නැහැ.

ඒ වාගේම තමුන්නාන්සේටත් චෝදනාවක් එල්ල වූ මල්වානේ නිවෙසක් තිබෙනවා. අක්කර ගණනක ඉඩමක් තිබෙනවා. තමුන්නාන්සේ කියනවා ඒක තමුන්නාන්සේගේ නොවෙයි කියලා. ඊට පස්සේ මුදිත ජයකොඩි කියනවා ඔහුගේ නොවෙයි කියලා. තිරුනඩේෂන් කියනවා ඔහුගේ නොවේ කියලා. කාටවත් අයිති නැති මහා දේපළක් තිබෙනවා පවරා ගන්න.

රටත් දුප්පත් ජනතාවත් දුප්පත්. පාලකයන් පොහොසත්. අතිශය ලෙස ධනය පොදි බැඳ ගත්ත දේශපාලනයක් තිබෙනවා. අපේ රට ඉදිරි සංවර්ධන මාවතක් ගැන කල්පනා කරනවා නම්, මේ දූෂිත දේශපාලනය පරාජයට පත් කළ යුතුයි.

කොරෝනා වසංගතය අපේ රටේ පොදු ජනතාව මුහුණ දීපු ඉතාම නීරස ප්‍රශ්නයක්. හැමදෙනාම කම්පනයට පත් වුණා. හැමදෙනාම බියට පත් වුණා. හැමදෙනාම තමන්ගේ ජීවිතය පිළිබඳව අනියත බියකට පත් වුණා.

එවැනි සමාජ ව්‍යසනයක් වෙලාවේදීත් වංචාව ඒක ඇතුළට ගෙනෙන පාලකයන් ඉන්නේ. ඇන්ටිජන් කට්ටල මිලදී ගැනීමේදී, නිරෝධායනයේදී, හෝටල් නිරෝධායනයේදී වංචා සිදු වුණේ නැද්ද? ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු මේ පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ අදූෂිත දේශපාලනය අපේ රටේ න්‍යාය පත්‍රයේ අංක එක බවට පත් කර ගන්නේ නැතිව මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ.

ඊළඟ කාරණය තමයි පොහොර ප්‍රශ්නය. අද ගොවි ජනතාව විශාල ව්‍යසනයකට මුහුණ දීලා තිබෙනවා. පොහොර පිළිබඳව ගනු ලැබූ තීන්දුව ගැන අපි ඉතාම සභ්‍ය භාෂාවෙන් ප්‍රකාශ කර තිබෙනවා. විද්‍යාත්මකව ඔප්පුකොට තිබෙනවා. තාක්ෂණයෙන් ඔප්පුකොට තිබෙනවා. එය අසාර්ථකම තීන්දුවක්. ඒත් කිසිවක් අහන්නේ නැහැ කියන්නේ, එතැන තිබෙන්නේ උමතු මනසක්.

චීනයෙන් පොහොර ගෙනාවා. අපේ රටේ ශාක ආරක්ෂක පනත අනුව අපට ඉතාම ශක්තිමත් ශාක නිරෝධායන සේවයක් තිබෙනවා. අපි ඒ නිලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ක්ෂුද්‍ර ජීවීන් සහිත සාම්පල් පරීක්ෂා කිරීමට පෙර ණයවර ලිපිය නිකුත් කළේ කවුද? එහෙම කොහොමද කරන්නේ? රටට ගෙනෙන්න සුදුසුද, නැද්ද කියලා නිසි පරීක්ෂාවකින් තොරව ණයවර ලිපි විවෘත කළේ කවුද? අද චීන රජයට ‍ෙදාස් කීමෙන් පලක් නැහැ. ඔවුන් කියන්නේ සාධරණ කාරණයක්.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා පසුගිය දවස්වල පොහොර පිළිබඳ බදාගෙන කතා කළා. දැන් සතියක කාලයක ඉඳලා කියනවා පොහොර මගේ නොවෙයි, ශෂීන්ද්‍රගේයි කියලා.

මා දන්නේ නැහැ ඒ කාරණය ඇතුළේ තිබෙන්නේ මොකක්ද කියලා. මා දන්නේ නැහැ ඊට කලින් මොකක්ද තිබුණේ කියලා. ඊට කලින් පොහොර ගැන කතා කරනකොට මේ පාර්ලිමේන්තුවේ රටේ හැම තැනම වීරයා එතුමායි. හැබැයි එතුමා අද කියනවා පොහොර මගේ නොවෙයි. ශෂීන්ද්‍ර රාජපක්ෂගේයි කියලා.

දෙවැනි කාරණය මෙයයි. මේ රටට අත්පත් වී තිබෙන ප්‍රපාතය සරල නැහැ. මේ රට ගොඩනැඟීම සඳහා සියලුදෙනා සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි. මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ හැමදාමත් විශ්වාස කළා, තනි තනි පුද්ගලයන් කෙරෙහි.

ඉන්ද්‍රජාලිකයෝ, දියසෙන් කුමාරයා, දුප්පතාගේ හිතවතෙක් ආවා. විහාර මහා දේවි ආවා. දුටුගැමුණු ආවා. පොළොන්නරුවේ ගැමියා ආවා. ආසියාවේ ලොකුම මොළය ආදී වශයෙන් ආවා. වැඩ කරන විරුවෝ ආවා. එන්න පුළුවන් හැම වර්ගයේම ඉන්ද්‍රජාලකයෝ ආවා නේ. රටට අත්පත් වෙලා තිබෙන්නේ මොකක්ද?

රටට අත්පත් වෙලා තිබෙන්නේ ව්‍යසනය. රටට පත්පත් වෙලා තිබෙන්නේ විනාශය. ඒ නිසා මේ රට ගොඩනැඟීම තනි තනි පුද්ගලයන්ගේ විශ්වකර්ම වැඩක් නොවෙයි. මේ රට ගොඩනැඟීම සාමූහික ප්‍රයත්නයක්. සාමූහික ප්‍රයත්නයක් යොදන්න නම් මොකක්ද කරන්න ඕනෑ. පළමුකොටම දේශපාලනය වරප්‍රසාද ලත් තනතුරක සිට සිහසුනේ සිට පහළට බහින්න ඕනෑ. අහසේ සිට පහළට බහින්න ඕනෑ.

දේශපාලනය කියන්නේ වරප්‍රසාද ලත් තනතුරක් නොවෙයි. දේශපාලනය කියන්නේ සම සමව පුරවැසියන් එක්ක කටයුතු කරන, සම සමව පුරවැසියන්ගේ දුක, සතුට බෙදාගෙන රට ගොඩනඟන ව්‍යායාමයක් බවට පත් කරන්න ඕනෑ. ඒ නිසා අපි මේ රටට සාමූහිකත්වය කැඳවන්න ඕනෑ. තමුන්නාන්සේලාට සාමූහිකත්වය කැඳවන්න පුළුවන්ද?

තමුන්නාන්සේලාට ඒ සාමූහිකත්වය කැඳවන්න බැහැ. ඇයි මේ අය – වැය ලේඛනය බලන්න. මම ගොඩක් විස්තර කරන්නේ නැහැ, මට ලැබී තිබෙන කාලය සීමිත නිසා. තමුන්නාන්සේලා දන්නවා, රාජපක්ෂවරු හතරක් කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරනවා. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. එතකොට විශාල ප්‍රමාණයක් නියෝජනය කරනවා.

ඒ පවුල වෙත, ඔවුන් නියෝජනය කරන අමාත්‍යාංශවලට කොච්චර මුදල් වෙන්කොට තිබෙනවාද? මුළු වියදම් බිලියන 5,200යි. ටි්‍රලියන 5.2යි. හැබැයි ඒ අමාත්‍යාංශ සඳහා වෙන් කරන මුදල බිලියන 3,470යි. බිලියන 5,200ක් වැය කරනකොට බිලියන 3,470ක් වැය කරන්නේ එක කණ්ඩායමක් විසින් පවුලක් විසින්. ඒ කියන්නේ මුළු රාජ්‍ය වියදමින් සියයට 64ක්. ඉතින් කොහොමද කැබිනට් මණ්ඩලය අතර සාමූහිකත්වයක් නිර්මාණය කරන්නේ? අනෙක් ඒවා නිකම් සූප්පු කර කර ඉන්න පුළුවන් මස් කටු.

අපේ රටේ විදෙස්ගත පුරවැසියන් මේ රට ගොඩනැඟීම පිළිබඳ මහත් අභිලාෂයක්, බලාපොරොත්තුවක් ඇතිව මේ රටට එන්න ලැහැස්තියි. මේ රට ගොඩනැඟීම සඳහා මුදල් එවන්න ලැහැස්තියි. හැබැයි පාලකයා මේ රට ගොඩනැඟීම සඳහා ඇත්ත ප්‍රයත්නයක් තමන්ට තිබෙන බව, ඇත්ත දැක්මක් තිබෙන බව, ඇත්ත වුවමනාවක් තිබෙන බව පාලකයා පෙන්වන්න ඕනෑ.

ඔබතුමන්ලාට මතක ඇති අපේ රටේ පුරවැසියන් ලක්ෂ දෙක තුන වියදම් කරලා වාණිජ ගුවන් යානා අරගෙන ලංකාවට ආවා කතිරයක් ගහලා යන්න. මම කියන්නේ ඔවුන්ගේ රැවටීම නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්දය දීපු මේ රටේ සාතිශය බහුතර ජනතාවට දේශපාලනය පිළිබඳ විශ්වාසය බිඳ වැටිලා තිබුණේ.

ඔවුන් තුළ මේ රට ගොඩනැඟීම පිළිබඳ අපේක්ෂා බිඳ වැටිලා තිබුණේ. නමුත් ඔවුන්ට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නැවුම් බලාපොරොත්තුවක් වුණා. තම අපේක්ෂා ඉටු කරයි කියලා විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා ඔවුන් වාණිජ ගුවන් යානා අරගෙන ආවා කතිරයක් ගහලා යන්න.

එතුමා දිනුවාට පසුව තරුණයන් තාප්පවල චිත්‍ර අඳින්න පටන් ගත්තා, තරුණයන් පුරන් කුඹුරු අස්වද්දන්නට පටන් ගත්තා. ඔවුන්ට මේ රට ගොඩනැඟීම පිළිබඳ විශාල අභිලාෂයක් තිබුණා. හැබැයි කෝ අද ඒ අභිලාෂය? තමුන්නාන්සේලාට ඒක පවත්වාගෙන පුළුවන් වුණාද? පවත්වාගෙන යන්න බැහැ.

මේ හැම මන්ත්‍රිවරයකුටම පොලිස් නිලධාරීන් ඉන්නවා. මොකටද මේ පොලිසිය තියාගෙන ඉන්නේ? මම අවුරුදු 21ක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කළා. අමාත්‍යවරයෙක් විධියට මාස 15ක් වැඩ කරලා තිබෙනවා. ඒ එක දිනයකවත් ආරක්ෂාවට එක පොලිස් නිලධාරියෙක් අරගෙන නැහැ. (බාධා කිරීම්) ගත්තේ නැති අය ඉන්නවා නම් බොහොම හොඳයි.

හැබැයි මම කියන්නේ මොකටද පොලිස් නිලධාරීන්? මම දැක්කා එක වෙලාවකදී පත්තර වාර්තාවක්. මම ඒකට වග කියන්නේ නැහැ. එහි තිබුණා, පොලිසියේ ඉන්නවා 85,000ක්, එයින් 40,000ක් යොදවා තිබෙනවාලු ප්‍රධාන ප්‍රභූ ආරක්ෂාව සඳහා. ඉතින් මොකක්ද රටේ පොලිසියෙන් ඇති වැඩේ? ධනය නාස්ති කරන්න ඕනෑද මේවාට? එතැනින් අපි බහින්නට ඕනෑ.

මේ අමාත්‍යවරුන්ට ගෙවල් දෙන්න ඕනෑද? ලයිට් බිල, වතුර බිල ගෙවලා අමාත්‍යවරුන්ට ගෙවල් දෙන්න ඕනෑද? මේ ගොඩක් අයට කොළඹ ගෙවල් තිබෙනවා. තමන්ගේ ගෙදර ඉඳන් වැඩට යන්න පුළුවන්.

ජනාධිපතිවරයාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමා මිරිහානේ නිවෙසේ ඉන්නේ. හැබැයි මම කැමැතියි එතුමා ජනාධිපති මන්දිරයට යනවා නම්. ඒක එතුමාට ලේසියි. මිරිහානේ ඉඳන් යනකොට පොලිසිය පාරට දාලා, කොත්තු කඩේක කාටවත් ඉන්න බැහැ, සැලූන් එකක වැඩක් කරන්න බැහැ. ඒක මිරිහාන ප්‍රදේශයේ මිනිස්සුන්ට ඊට වඩා ප්‍රශ්නයක්.

තමුන්නාන්සේලා ලොකු විප්ලවීය පියවරක් ගත්තා, අමාත්‍යවරුන්ගේ ඉන්ධන දීමනාව ලීටර් 5කින් අඩු කරලා. ඒ වාගේ දේවලින් මේක වහන්න බැහැ. මට මතකයි ඉස්සර ලක්ෂ එකහමාරක් දුන්නා තෙල් ගහන්න. එතකොට රුපියල් ලක්ෂ 1 1/2ට සරිලන තෙල් තමයි හම්බ වෙන්නේ.

ඊට පස්සේ තෙල් මිල ඉහළ යන්න යන්න මොකක්ද වුණේ? තෙල් මිල ඉහළ යන්න ඉහළ යන්න තෙල් අඩු වුණා. ඊට පස්සේ තෙල්වලින් ප්‍රතිපාදන දෙන්න තීන්දු කළා. අන්න එහෙමයි බෙදා ගන්නේ.

බොහෝ අය අපට කිව්වා අපේ රට අපි සිංගප්පූරුවක් කරනවා කියලා. සිංගප්පූරුවක් විය හැක්කේ සිංගප්පූරුවට විතරයි. අපේ රට මැලේසියාවක් කරනවා කියලා කිව්වා.

මැලේසියාවක් කළ හැක්කේ මැලේසියාවට විතරයි. ඇයි? හැම රටක්ම ඒ රටේ තිබෙන විශේෂතා මත තමන්ගේ සංවර්ධන උපාය මාර්ගය සකස් කර ගන්නවා. ඕනෑම රටක් තමන්ගේ ආර්ථික උපාය මාර්ගය තෝරා ගන්නේ ඒ රටේ පිහිටීම, ඒ රටේ සම්පත්, ඒ රටේ මානව සම්පත, ලෝක දේශපාලනය, ඒ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණු ආකාරය අනුව.

අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ කොහොමද? ඒක වැදගත්. ඒ නිසා අපේ රට ගොඩනඟනවා නම් අපේ රටේ පිහිටීම අතිශය වැදගත්. ඒ නිසා තමයි චීනය වරායන් අත්පත් කර ගන්නේ. ඒ නිසා තමයි ඉන්දියාව වරායන් අත්පත් කර ගන්නේ. ඒ නිසා තමයි අද තමුන්නාන්සේලා වරාය අධිකාරිය සතුව තිබෙන පහසුකම් සේවා සැපයීමේ අයිතිය චීන සමාගමකට ලබාදීම සඳහා අක්කර 13ක භූමියක් දෙන්න යෝජනා කර තිබෙන්නේ පෝර්ට්සිටි එකක් අයිනේ.

ඒ නිසා මේ පිහිටීමත් එක්ක සංවර්ධන මාවතක්, අප රටේ ස්වාභාවික සම්පත් එක්ක සංවර්ධන මාවතක්, අපේ රටේ මානව සම්පතත් එක්ක සංවර්ධන මාවතක් බිහි කරගත යුතුයි. අපිට විශාල මානව සම්පතක් තිබෙනවා. මේක දියුණු කළ හැකි මානව සම්පතක්.

මානව සම්පතේ සංවර්ධනය කරන්නේ මොනවාද? එක, අධ්‍යාපනය. වැඩිම බර තබන්න ඕනෑ අධ්‍යාපනයට. දෙක, සෞඛ්‍ය. නිරෝගි සම්පන්න ජීවිතයක්. තුන, ක්‍රීඩාව. අද අපි ක්‍රීඩාවෙන් කොතැනද ඉන්නේ? ඒ නිසා අපේ මානව සම්පත දියුණු කිරීමේදී අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව ප්‍රමුඛ කරගෙන මානව සම්පත දියුණු කිරීමේ සංවර්ධන මාවතකට අපි යන්න ඕනෑ.

ඊළඟට, ලෝක දේශපාලනය. අපි ක්‍රමානුකූලව චීන ගුලට වේගයෙන් රිංගුවා. රිංගුවාට වඩා සල්ලි දීලා ගුලට ඇදලා ගත්තා. චීන සමාගම් විසින් අපේ රටේ නායකයන්ට සල්ලි දීලා චීන ගුලට ඇදලා ගත්තා. අද ලෝකයේ බල ගැටුම නම් ප්‍රධාන පාපන්දු පිටියේ විශාලතම දඩබිම බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා.

අපේ ශිෂ්ටාචාරය ගොඩනැඟෙන්නේ කලා ඔය අසබඩ, මල්වතුඔය අසබඩ, අනුරාධ ග්‍රාම, විජිත ග්‍රාම. අපි කෘෂි කර්මාන්තය මත පදනම් වෙලා තමයි අපේ ශිෂ්ටාචාරයක් ගොඩනැඟෙන්නේ. ඒ නිසා තමයි අපේ ආදිතම මුතුන් මිත්තන් වැව් 32,000ක් හැදුවේ. ඒ වගේම මතක තියා ගන්න, ඒ වැව් 32,000 හදනකොට අපේ ආදිතම කිසිදු මුතුන් මිත්තෙක් මධ්‍යම කදුකරය වැහුවේ නැහැ. අපි හැමදාම කරපු දේ තමයි මධ්‍ය කදුකරය සංරක්ෂණය කළා. මධ්‍ය කදුකරය ආරක්ෂා කළා. ඒකේ වන ගැබ ආරක්ෂා කළා. ඉස්සර අලි හිටියේ වියළි කලාපයේ නොවෙයි මධ්‍ය කදුකරයේ.

ලෝකය වාෂ්ප එන්ජිම හොයා ගන්නකොට අපි බිසෝ කොටුව හොයා ගන්නවා. ලෝකය විද්‍යුතය හොයා ගන්නකොට අපි මඩ සොරොව්ව හොයා ගන්නවා. ලෝකය කාර්මික නිෂ්පාදන කරනකොට අපි කලා වැවේ ඉඳලා තිසා වැව දක්වා හැතැප්ම 28ක් අඟලක බැස්මක් සහිත යෝධ ඇළ නිර්මාණය කරනවා.

අපේ ශිෂ්ටාචාරය ඒක. ඒ නිසා අපේ ශිෂ්ටාචාරයේ පංගුවක් අපේ ආර්ථිකය නියෝජනය කරන්න ඕනෑ. ඒ ශිෂ්ටාචාරය වළක්වන්න බැරි විධියටම අපේ ගැමි කෘෂි කර්මාන්තය මත පදනම් වෙච්ච ශිෂ්ටාචාරයක්. ඒ නිසා අපි ග්‍රාමීය ජනතාවගේ ජීවිත උසස් කරන්නත්, කෘෂි කර්මාන්තය, මම මේ කාරණයත් කියා මගේ කතාව අවසන් කරනවා.

නියෝජ්‍ය කථානායකතුමනි, ග්‍රාමීය ජනතාවගේ ජීවිත උසස් කරන්න නම් ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රභවය කෘෂි කර්මාන්තය.
වී නිෂ්පාදනය ලාභ ලබන්නේ නැතිව, එළවළු නිෂ්පාදනය ලාභ ලබන්නේ නැතිව, කුඩා තේ වත්ත ලාභ ලබන්නේ නැතිව, කුඩා කුරුදු වත්ත ලාභ ලබන්නේ නැතිව, ගම්මිරිස් වත්ත, එනසාල් වත්ත ලාභ ලබන්නේ නැතිව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න බැහැ.

ඒ නිසා අපේ ශිෂ්ටාචාරය මත පදනම් වනවා නම් කෘෂි කර්මාන්තය අපේ රටේ ආර්ථිකයට විශාල පංගුවක්. හැබැයි මතක තබා ගන්න. තමුන්නාන්සේලා අද මේ කෘෂි කර්මාන්තයට හෙණයක් ඇති කර තිබෙනවා. අපේ රටේ මොන ගොවියාද, මොන කාලයේද තමන්ට වගා කරන්න අවශ්‍ය වන පහසුකම් ලබා දෙන්න කියා පාරට බැස්සේ?

අද ගොවි ජනතාව පාරට බැහැලා කෑ ගහලා කියන්නේ මුකුත් නොවෙයි. තමන් මේ වගා බිම් අස්වද්දන්න ලෑස්තියි. රටට බත සපයන්න ලෑස්තියි. කරුණාකරලා අපට අවශ්‍ය පහසුකම් ටික දෙන්න කියා. ඒ පිළිබඳවත් අවධානය යොමු නොකරන අය වැය ලේඛනයකින් අපට ඇති ඵලය කිම?

ඒ නිසා අවසාන වශයෙන් මම කියන්නේ මේකයි. මේ අය- වැය ලේඛනයෙන් අපට පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නොවෙයි. අපේ රට මෙතෙක් ගමන් කර තිබෙන මාවත අසාර්ථක මාවතක් බවටත්, මේ මාවත වෙනස් කිරීම සඳහා මේ රටේ පුරවැසියන්ට බල කර සිටින, මඟපෙන්වන අය – වැය ලේඛනයක් බවට ප්‍රකාශ කරමින් මම නතර වෙනවා.”

ජේ.ටී ද සිල්වා / අනුරාධා හේරත් (මව්බිම)

Related posts