dolor

මෙරට තුළ පවතින භාවිතා කළ හැකි විදෙස් විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලිය 700 ත් 800 ත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.

එහිදි අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් විනිමය සංචිතය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත වැටී ඇති බවත්, ඒ අතරින් භාවිතා කළ හැකි සංචිත පවතින්නේ මිලියන 700 – 800 අතර ප්‍රමාණයක් පමණක් වන බවයි.

එමෙන්ම එම ප්‍රමාණයෙන් සිදු කළ හැක්කේ සති තුනක කාලයක් සඳහා අවශ්‍ය ආනයනයන් පමණක් වන බවත් ඔහු අනාවරණය කර සිටියේය.

“මේ වන විට නිල වශයෙන් මහ බැංකුව කියනවා ජනවාරි අග වන විට අපේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.3 යි කියලා. දෙසැම්බර් අගභාගයේ 3.1 සිට 2.3 දක්වා අඩුවෙලාලු.

එක පැත්තකින් මේක භයංකාර තත්ත්වයක්. තවත් පැත්තකින් මේක රටත් ජනතාවත් නොමඟ යැවීමක්.

මේ 2.3 ඇතුළට ඇතුල් කරලා තියෙනවා යුවාන් swap එක. යුවාන් swap එක කියන්නේ යුවාන් බිලියන 10 ක් ලැබිලා තියෙනවා, දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.6 යි. ඇත්තම කතා කරනවා නම් අද අපේ රටේ දැනට මේ මොහොතේ තියෙන සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 – 800 අතර ප්‍රමාණයක් පමණයි.

IMF වුණත් කියනවා reserves වලට ඇතුල් කරන්න පුළුවන් ක්‍රමවේදය වන්නේ, ඒක ඩොලර් හැටියට පාවිච්චි කරන්න පුළුවන්නන්. මේ කතාකරන 2.3 ඇතුලේ පාවිච්චි කළ හැකි සංචිත, පාවිච්චි කළ හැකි ප්‍රාග්ධනය තිබෙන්නේ ඇත්ත වශයෙන්ම ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ මිලියන 700-800 අතර ප්‍රමාණයක්.

ඇත්තවශයෙන්ම අද දවස වෙන කොට සති තුනක ආනයනවලට පමණක් තමයි අපේ සංචිත තිබෙන්නේ.

ඉතිහාසයේ කිසිම දවසක කඩා වැටුණේ නැහැ මේ ආකාරයට.”

ඔහු සඳහන් කර සිටියේය.

Similar Posts