අනුරාධපුර වන්නියම්කුලම ප්‍රදේශයේ පිහිටි වෙළද ආයතනයට කඩා වැදී එහි හිමිකරුගේ මුහුණ පිහියකින් කපා බරපතල තුවාල සිදුකර මුදල් කොල්ලකා පලාගිය කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පරික්ෂණයක් අරඹා තිබේ.

වෙළදසැලේ හිමිකරුගේ බිරිද විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලට අනුව පරික්ෂණ අරඹා තිබෙන අතර වෙළදසැලේ ලාච්චුවේ තිබූ රුපියල් තිස්දහසක මුදලක් කොල්ලකරුවන් කොල්ලකා පලාගිය බව පැමිණිල්ලේ සදහන්වේ.

සැකකරුවන් (25දා)රාත්‍රීයේ අදාල වෙළදසැලට පැමිණ ඇති අතර එම අවස්ථාව වනවිට වෙළදසැලේ වෙළදාම් කටුයුතු අවසන්කර දොර වසා කුඩා හිඩසක් තිබි ඇති බව පොලිසිය පවසයි.

පුද්ගලයෙකු බලහත්කාරයෙන් මෙන් වෙළදසැලට ඇතුළුවු අවස්ථාවේ වෙළදසැලේ හිමිකරුගේ බිරිද එහි සිට ඇති බවත් වෙළදසැලට ඇතුළුවීම නිසා ඇය සැකකරුට දොස් නගා ඇති බව පොලිසිය පවසයි.

වෙළදසැලට ඇතුළුවූ පුද්ගලයා මුදල් කොල්ලකෑමට සූදානම් වද්දි ඇය කෑ ගසා ඇති අතර එම අවස්ථාවේ වෙළදසැලේ හිමිකරු එහි පැමිණ ඇති බවත් විවරව තිබූ දොර වසා කොල්ලකරුට එම ස්ථානයෙන් පිටවී යාමට නොහැකි ලෙස ඔහු විනාඩි කිහිපයක් තිස්සේ කොල්ලකරු සමග පොර බදා ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේ කොල්ලකරු ආරක්ෂාව සදහා රැගෙනවිත් තිබූ කුඩා පිහියක් කලිසම් සාක්කුවෙන් පිටතට ගෙන ව්‍යාපාරිකයේ මුහුණ කපා ඇති බව පරික්ෂණ සිදුකරන පොලිසියට පවසයි.

මුහුණ කපාදැමීම සමග ව්‍යාපාරිකයා කොල්ලකරු අතහැර ඇති අතර වෙළදසැලේ තිබූ රුපියල් 30000ක මුදල රැගෙන ඔහු වෙළදසැලෙන් පිටතට පැන තිබේ.

කොල්ලකරුගේ සහයට පැමිණි සෙසු කොල්ලකරු යතුරු පැදිය වෙළදසැල ඉදිරිපිට නවතා ගෙන සිට ඇති බවත් ඔහු මුදල් කොල්ලකෑ සගයා සමග පලාගොස් ඇති බව පරික්ෂණ සිදුකරනා පොලිසිය පවසයි.

පිහි ප්‍රහාරයට ලක්වු ව්‍යාපාරිකයා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනා බවත් කොල්ලයට පැමිණි පිරිස මුහුණු ආවරණය කරගෙන ව්‍යාපාරික ස්ථානායට ඇතුළු වීම නිසා හදුනාගැනීමට නොහැකිවී ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් කොල්ලයට පැමිණි අයුරු එක් ආරක්ෂිත කැමරාවක සටහන්වි ඇතත් එහි දර්ශන පැහැදිලි නැති බව පොලිසිය පවසයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක අධිකාරි මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

 

Similar Posts