දෑවුරුද්දක කෙරුවාව

personal ad sri lanka

ආණ්ඩුවට අවුරුදු දෙකකි. 69 ලක්ෂයක ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයෙකි. තුනෙන් දෙකේ බලයකින් පිහිටුවන ලද ආණ්ඩුවකි. එහෙත්, මේ වන විට ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඇත්තේ ඉතාමත් අඩු මට්ටමක බව පෙනේ. එයට හේතුව, රටේ ජනතාවට විඳීමට සිදුවී තිබෙන අපමණ දුෂ්කරතාය. ඒ සියල්ලකටම මේ ආණ්ඩුව වගකිව යුතුද යන්න විමසා බැලිය යුතුය. මන්ද, කොවිඩ්-19 යනු බලාපොරොත්තු නොවූ අර්බුදයකි.

එහෙත්, මෙම ආර්ථික අර්බුදය කරා ලංකාව ගමන් කරමින් සිටියේ දශක ගණනාවක සිටය. විශේෂයෙන්ම, 2005 – 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන දශකය තුළදී ශ්‍රී ලංකාව විසින් තෝරාගන්නා ලද සංවර්ධන මාර්ගය විසින් කිසියම් දිනෙක රට මේ අන්තය කරා ගෙනයාමට නියමිතව තිබිණි. 2015-2019 සමයේ යහපාලන රජය බලයට පත්වී අර්බුදය යම් දුරකට කළමනාකරණය කරගන්නට සමත් නොවී නම්, 2019 ජනාධිපතිවරණයට පෙරම ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදෙන්නට නියමිතව තිබිණි.

මෙම අර්බුදය සරලව විග්‍රහ කළොත්, ඒ වනාහි ආදායම් උත්පාදනය නොකරන, දූෂිත ව්‍යාපෘති වෙනුවෙන් ලබාගත් ණයද ඇතුළුව සමස්ත ණය හා පොළී ගෙවාගැනීම සඳහා තවදුරටත් ණයගැනීමට ලංකාව අසමත් වීම පිළිබඳ ප්‍රශ්නයයි. කවදා හෝ මුහුණදෙන්නට නියමිතව තිබුණු මෙම ප්‍රශ්නය ඉක්මණින් මතුවූයේ කොවිඩ්-19 හේතුවෙනි.

කොවිඩ්-19 මුල් රැල්ලේදී ආණ්ඩුව එය දේශපාලන වාසි සඳහා භාවිතා කළේය. මුළු රටම දිගු කාලයක් වසා දමා පළමු රැල්ල පාලනය කරගත් ආණ්ඩුව අති විශාල මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් එය ආයෝජනය කළේය. එහෙත්, මේ අතරවාරයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි හානියක් සිදුවිය. සංචාරක කර්මාන්තය, විදේශ රැකියා, ඇගලුම් වැනි ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ආ කර්මාන්ත රැසකට දැඩි බලපෑමක් සිදුවිය.

කෙසේ වෙතත්, කොවිඩ්-19 නිවාරණ එන්නත් හඳුන්වාදීමත් සමග ආණ්ඩුව එන්නත්කරණයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදී කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ අතිශය සාර්ථක එන්නත්කරණ යටිතලය මත ක්‍රියාත්මක වෙමින් වේගවත් එන්නත්කරණයක් සිදුකරන්නට රජය සමත්විය. ජනතාවගේ සුබවාදී ප්‍රතිචාර ද එම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් විය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ චර්යාවන් සම්බන්ධයෙන් නිරතුරු ගැටලු මතුකිරීම සෞඛ්‍ය නිලධාරීන්ගේ පමණක් නොව, වෛද්‍ය, හෙද, මහජන සෞඛ්‍ය පරීක්ෂක වැනි වෘත්තීන්ගේ වෘත්තීය හා වෘත්තික සංවිධානවල ද පුරුද්දක් වූ මුත්, වෙනත් ඇතැම් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජනතාව සෞඛ්‍ය පුරුදු පැත්තෙන් ඉදිරියෙන් සිටින බව කියන්නට හෝ ජනතාව අගය කරන්නට හෝ කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත.

කොවිඩ් රෝගී කළමනාකරණයේ බරපතල ගැටලුවක් ඇති බව ද, සෞඛ්‍ය සේවකයන්ගේ අධික බිය එයට හේතුව බව ද, කොවිඩ්-19 වැළඳී රෝහල්ගතව සිටි බොහෝදෙනෙකු පවසති. එහෙත්, රජය එම ගැටලුව හඳුනාගන්නට අසමත් වී තිබේ. සෞඛ්‍ය නිලධාරීන් මෙකී යථාර්ථය සඟවමින් ජනතාවට බැනවැදීම හා බියවැද්දීම දිගටම සිදුකරන අතර රජය බොහෝවිට එම බලපෑමට යටත් වන ආකාරයක් දකින්නට ලැබේ. පනවනු ලබන ඇඳිරි නීති ආදිය හේතුවෙන් ආර්ථිකය තව තවත් දඬුඅඬුවේ මිරිකේ.

කොවිඩ්-19 සෞඛ්‍ය අර්බුදය හා ආර්ථික අර්බුදය මැද ආණ්ඩුව විසින් කරන ලද අමනෝඥම ක්‍රියාවක් වන්නේ බලහත්කාරයෙන් කාබනික ගොවිතැනක් ගොවි ජනතාව මත පැටවීමයි. එමගින් ආහාර අර්බුදයක් නිර්මාණය කරන්නට ආණ්ඩුව දායක වී තිබේ.

කෙසේ වෙතත්, ඩොලර් හිඟය හේතුවෙන් පොහොර ආනයනය හා නොමිලේ හා සහන මිලට පොහොර ලබාදීම දිගටම කරන්නට රජයට හැකියාවක් නැත. ඊනියා කාබනික ප්‍රවර්ධනය සිදුකළත්, නැතත්, මේ වන විට රටේ පොහොර අර්බුදයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. පොහොර, ඉන්ධන, පිටි, සීනි, පරිප්පු ඇතුළු ආනයනික පාරිභෝගික භාණ්ඩ රැසකට ඩොලර් හිඟය බලපාන බව ඉතා පැහැදිලිය. ඒ නිසා මෙම භාණ්ඩවල හිඟයන් වරින්වර ඇතිවීම වැළැක්විය නොහැකිය. ශ්‍රී ලංකාවට ආනයන සිදුකරන්නට හැකිවන්නේ අපනයනයෙන් ආදායම් ලැබෙන ආකාරය අනුවය.

ආණ්ඩුවට විදේශ විනිමය ආදායම් ඉහළනංවාගැනීමට හැකිවන්නේ සංචාරක කර්මාන්තයෙන්, විදේශ ශ්‍රමිකයන් එවන ප්‍රේරණ ආදියෙන් ආදායම් ඉහළ නංවාගත හැකි නම්ය. ආනයන සීමා ඉතා සංකීර්ණ ආකාරවලින් අපනයන කර්මාන්තවලට බලපායි. ඒ නිසා ඉදිරි කාලයේදී අපනයන වර්ධනය කෙසේ සිදුවේද යන්න ගැටලු සහිතය. උදාහරණයක් ලෙස, තේ කර්මාන්තය මේ වන විට පොහොර හා වල් නාශක හිඟය හේතුවෙන් ඵලදායිතාව පිළිබඳ ගැටලු රැසකට මුහුණදී සිටියි.

ශ්‍රී ලංකාව ආයෝජකයන්ට ආකර්ශනීය කරගැනීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට රජය සමත්වන බවක් දක්නට නොලැබේ. දිනෙන් දිනම රටෙහි අරාජිකත්වය වර්ධනය වෙමින් තිබේ. මේ වන විටත් මහජන විරෝධය රජයේ මර්දන හැකියාවට දරාගත හැකි සීමාවෙන් ඔබ්බට විහිදී තිබේ.

පසුගියදා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා තුළ ජනතාවගේ දැවෙන ප්‍රශ්න කිසිවකට විසඳුම් නැත. අඩු තරමේ, ලබන අවුරුද්දේ ගෙවීමට තිබෙන ඩොලර් බිලියන හතරකට අධික විදේශ ණය හා පොළී ගෙවන ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක්වත් එහි නැත. රජයේ වියදම් අඩුකළ යුතු බව හා කාර්යක්ෂමතාව නැංවිය යුතු බව කියවුණ ද එය කෙසේ කරන්නේ ද යන්න පැහැදිලිව ප්‍රකාශ කර නැත. අඩු තරමේ ශ්‍රීලන්කන් වැනි සල්ලි කන සුදු අලියකුට කරන දේ පවා එහි නැත.

ජනාධිපතිවරයා ඉතා අසීරු තත්වයක් මැද යුද සෙබළකු සේ දරාගෙන සිටින බවක් දක්නට ලැබේ. එහෙත්, බොහෝ කාරණා සම්බන්ධයෙන් අනවබෝධය ද එම දරාගැනීමේ හැකියාව පසුපස තිබෙන බවක් පෙනේ. මේ සියල්ල මැද සිදුවන එක් සාධනීය දෙයක් තිබේ. එනම්, 2005-2015 වකවානුව තුළ නිර්මාණය වූ ජාතිවාදය, ආගම්වාදය, ගජමිතුරු ධනවාදය, රාජ්‍ය මූලික ආර්ථිකය, දූෂණය, බලය අපහරණය හා පවුල්වාදය මිශ්‍ර වූ රාජපක්ෂ ක්‍රමය යළි ගොඩගත නොහැකි ලෙස පරිහාණියට පත්වෙමින් තිබේ. රාජපක්ෂ ක්‍රමය ගැන නැවත කියවීමක් සිදුකිරීමට මෙය කදිම අවස්ථාවකි.

අජිත් පැරකුම් ජයසිංහ

praja.lk

Related posts