රනිල් නැවත වතාවක් ලංකාවේ අගමැති වුනේ ළඳරු දේශපාලනය නිසාද?

ranil

රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ලංකාවේ අගමැති වෙලා. ඔව් වෙලා..! මේක හුදු අහම්බයක් ද? මට හිතෙන විදිහට මේක අහම්බයක් නෙවෙයි. මේක ක්‍රියාන්විතයන් ගණනාවක ප්‍රථිපලයක්.

සජිත් ප්‍රේමදාසගේ ළඳරු දේශපාලනය තමයි ප්‍රධානම හේතුව. සජිත්ට පාර්ලිමේන්තු බලය සහ ඒක නැවත අවධිකරගන්නේ කොහොමද කියන එක ගැන අදහසක් තිබුණනම් ඒ හොඳටම ඇති, මේ බලහෝමාරුව වළකා ගන්න. ඒත් මිනිහට ඒතරමටවත් ‘උකුණු පුකක’ මොළයක් තිබුණේ නෑ. මිනිහට ඕනෑ වුණේ මස් රාත්තලම එකවර ඔඩොක්කුවට දාගන්න. මේ වෙලාවේ කවුරු අගමැති වුණත් පාර්ලිමේන්තුව ඔහුට සහාය දෙන්න ඕනෑ අනිවාර්‍යයෙන් කියන එක, සජිත්ගේ ටිකිරි මොළයට තේරුණේ නෑ.

එහෙම නැත්තං සජිත් ප්‍රේමදාසගේ මවාණෝ තිරුනඩේසන්ගෙ ගෙදර ගිහිං ගත්‍ත උපදෙස්වල ප්‍රථිපලය ද මේ කියලා කියන්න මට තේරෙන්නේ නෑ.

කොහොමවුණත් සජිත් ප්‍රේමදාසගේ මෝඩ හැසිරීම රාජපක්ෂ පවුල අපේක්ෂා කළ සුමට බලහෝමාරුවට වගේම රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති සිහිනයට පාර කාපට් කරලා දුන්නා. ඒකේ හොඳ නරක දැන්ම කියන්න බැරිවෙයි. හැබැයි මටනම් මේක හොඳයි. මම මේ වුණ දේට කැමතියි. ඒ රට වැටිලා තියෙන ආර්ථික අගාධය නිසා සහ මේ ආර්ථික අර්බුදයට ඉක්මන් විසඳුමක් අවශ්‍ය නිසා.
සුමට බලහෝමාරුව මැදමුලනේ රාජපක්ෂ වළව්ව ගිනිබත් කළා. මහින්ද රාජපක්ෂ 2015 දී බලය අතහැරලා ප්ලෑන් B ක්‍රියාත්මක කරගන්න බැරුව රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් මැදමුලනට ගිහිල්ලා එල්ලුන ඓතිහාසික ජනේලයත් ගින්නට හසුවුණා.

ඒ විතරක් නෙවෙයි ජනතා මුදලින් හදපු රාජපක්ෂ මා පියන්ගේ සොහොන් ස්මාරකය සහ කෞතුකාගාරයත් දන්න්දිනා මැණියන්ගේ රෙද්ද එක්කම ගිනි ගත්තා. මේවා රාජපක්ෂලාට හිරේ ගියාට වඩා තදින් දැනෙනවා කියලා මම නම් දන්නවා. මේ මිනිස්සු නොමැරී මැරි මැරී ඇත්තේ.

ඉතිං ඔවුන් බලාපොරොත්තු වුණේ සුමට බලහෝමාරුවක්. ඊගෝ එකත් යම් ප්‍රමානයකට නඩත්තු කරමින් දේශපාලනයෙන් බැස යාමක්. ඒකට ගත්ත මුල්ම උත්සාහය තමයි ගෝඨා ගෝ ගම මිනිස්සු විසින්ම හකුලෝලා දැම්මා කියලා ඒක බිම්බත් කරන්න දරපු උත්සාහය. ඒක වැරදුනා. ඒක වැරදුනා විතරක් නෙවෙයි ඒක බෙල්ල හිරවෙලා ජීවිතයත් නැතිවෙන මට්ටමකට උඩට ආවා.

ඊටපස්සේ රාජපක්ෂවරුන්ට මේ කියන සුමට බලහෝමාරුවට තියෙන හොඳම අවස්ථාව තමයි රනිල් වික්‍රමසිංහ අගමැති කරන එක. ඒත් කෙළින්ම රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දෙන්න බෑ. ඒක ක්‍රම විරෝධී. සදාචාර විරෝධී. වර්තමාන ජනමතයටත් විරුද්ධයි. ඒනිසා මුලින්ම සජිත් ප්‍රේමදාසට ආරාධනා කරනවා. මේ ආරාධනාව සජිත් භාරගත්ත විදිහ අපි දැක්කා. ඒකයි මම කියන්නේ සජිත් දේශපාලනයේ හෝඩියේ පන්තියටවත් ගිහිං නෑ කියලා.

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල දන්නවා සජිත් ප්‍රේමදාස මස් රාත්තලම ඉල්ලනවා කියලා. ඔවුන් දන්නවා ඌරගේ මාළු ඌරගේ ඇගේ තියලා කපලම රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න පුලුවන් කියලා.

අන්තිමට රනිල් වික්‍රමසිංහ ඊයේ (12) හවස 6ට විතර කොටුවේ ජනාධිපති මන්දිරයට ගිහිං කලින් දාගත්ත විදිහටම අගමැති විදිහට දිවුරුම් දුන්නා. ඊටපස්සේ වාලුකාරාමයට ගිහිං බුදුන් වැන්දා. ‘බහුතරය නොතිබුණ චර්චිල්ට අගමැති වෙන්න පුලුවන් වුණා නම් මට ඇයි බැරි’ කියලා මාධ්‍යට පොඩි සද්දයකුත් දැම්මා. ඒ විතරක් නෙවෙයි දිලිත් ගේ දෙරණ පෙන්නලා මමද ගෝඨාභයට ඡන්දය දෙන්න කියලා කිව්වේ කියලත් ඇහුවා.

රනිල්‍ ට විරුද්ධ වෙන්න පුලුවන්ද?

දැනගන්න තියෙන විදිහට සීමිත, රාජපක්ෂවරුන්ගෙන් තොර, කැබිනට් එකක් සඳුද වෙනකොට හැදෙනවා. ඒත් රනිල්ගේ පත්වීමට සෝභිත හාමුදුරෝ කාදිනල් හිමිපානෝ විරුද්ධයි කියලා කිව්වා. අනුර කුමාර ප්‍රමුඛ ජාජාබත් විරුද්ධයි. සජබත් විරුද්ධයි. සමගි ජන සන්ධානයත් විරුද්ධයි. දැනගන්නට තියෙන විදිහට ශ්‍රීලනීපයත් විරුද්ධයි. ඉතිං රනිල්‍ ට 113ක් හදාගන්න පුලුවන් වෙයිද? ඒක තමයි මේ වෙලාවේ ප්‍රශ්නය.

ඒත් මේ වෙලාවේ රටේ තියෙන ආර්ථික අර්බුදය එක්ක සහ ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් හදාගන්න ඕනෑ කියන ජනමතය එක්ක 113 හොය හොයා දුවන එක දැන් වැඩක් නෑ. සජිත්ට වුණත් ආසයි බයයි කියලා ඉඳලා දැන් 113ක් හොයන්න හෝ පෙන්වන්න කියලා කියන්න අයිතියක් නෑ. දැන් තියෙන්නේ තමන්ගේ පැත්තේ ඉන්න දක්ෂයන්ට අමාත්‍ය මණ්ඩලයට පත්වෙන්න අවශ්‍ය නිදහස දෙන එක. පොහොට්ටුවට උනත් මේ ජනමතය එක්ක සෙල්ලම් දාන්න හම්බවෙන්නේ නෑ. රනිල් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.

මහබැංකු අධිපති නන්දලාල් කියනවා තමන් තව සති දෙකයි ඉවසන්නේ කියලා. අපි ඉන්නේ ඊළඟ මොහොතේ නැව ගිලී යන්න පුලුවන් ආර්ථික පසුබිමක. ඒ හින්දා දැන් සජිත් ගිය නුවණ ඇතුන් ලවා අද්දවාගන්න ට්‍රයි නොකර තමන්ගේ හිටපු නායකයාට ජනාධිපති සිහිනයට යන්න සහ රටේ මිනිස්සුන්ට හුස්ම ගන්න ටිකක් බෙල්ල බුරුල් කරගන්න අවස්ථාව දෙන්නයි තියෙන්නේ.

මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට තියෙන්නේ 2002-2004 වැඩකළා වගේ ටිකක් දියුණු විදිහට හිතලා වැඩ කරන්න. ඒත් ඉතිං මිනිහා ළඟ කැරකෙන්නේ පරණ සමනැල්ලුම තමයි කියලා අපිට ඊයේ පෙනුනා. ඒක අභියෝගයක්. කොහොමවුණත් වැඩකරන්න වෙනවා ගත්ත නම්. නැත්තං ඊළඟට එන්නේ මංකොල්ලකන නීතියක් නැති අඳුරු යුගයක්.

මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කිසි මන්ත්‍රිවරයෙක්ට දැන් එක එක හේතු කියලා මේකට විරුද්ධ වෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ පක්ෂවලට තියෙන්නේ තමන්ගේ මෙන්න මේ මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න කියලා දක්ෂයෝ මෙතනට යවන එක. එහෙම යැව්වොත් විතරයි අපිට දැන් හරි රාජපක්ෂ ව්‍යාපෘතිය ආපස්සට කරකවන්න පුලුවන් වෙන්නේ. මම නම් හිතන්නේ විශේෂයෙන් විපක්ෂයේ නායකයන් දැන්වත් දේශපාලනය කරන්න ඕනෑ කියලා. ඔව් තමන්ට මගහැරුණ දේශපාලනය කරන්න ඕනී.

රනිල් ගේ ජනාධිපති සිහිනය

රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මේ රටේ ජනාධිපති වෙන්න හීන දකින මිනිස්සු අස්සේ උඩම ඉන්න කෙනා. මිනිහට 2005 ඒ හීනෙට යන්න බැරිවුණේ කොටි සංවිධානය නිසා. ඊට කළින් ගාමිණී දිසානායකගේ නැවත පැමිණීමත් මිනිහගේ හීනය වැළැක්වූවා. ඊට පස්සේ 2015 දී ආර් සම්බන්ධන් මැදිහත් වෙලා ඒ මල්වට්ටිය මිනිහගෙන් උදුර ගත්තා.

දැන් මොකද වෙලා තියෙන්නේ? මම හිතන්නේ මිනිහට ඒ හීනය ආයෙත් දකින්න අවස්ථාව මේ අරගලය උදාකරලා දීලා තියෙනවා. ඒක අහබයක්. එහෙම දේශපාලනික අහම්බයන් ලෝකේ සිද්ධවෙලා තියෙනවා. ඉස්සරහටත් සිද්ධවෙයි.

දැන් රාජපක්ෂ පවුලට ඕනෑ සුමට බලහෝමාරුවකට යන්න. අපිට රනිල්-ගෝඨා එකඟතා මොනාද කියලා තවමත් පෙනෙන්නේ නෑ. ඒත් මට පුද්ගලිකව හිතෙනවා යම් කාල සීමාවකදී ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් බැහැලා රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්න ඉඩ හදයි කියලා. නැතිවුණ ගෞරවය යම් ප්‍රමානයකට පිළිසකර වුණාට පස්සේ ඒක කරන්න තියෙන ඉඩ වැඩී. සමහර වෙලාවට ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට සහාය දීම අස්සෙ වුණත් ඒක වෙන්න පුලුවන්.

කොහොම වුණත් මේ පවතින ආර්ථික තත්ත්වය උඩ රනිල් වික්‍රමසිංහට ජනාධිපති වගේ වැඩකරන්න දෙන්න වෙනවා, ගෝඨාභය රාජපක්ෂට. අකුල් හෙලන්න ගියොත් ජනතාව ඉස්සරහට ඇවිත් ඔහු අසුනෙන් ඇදලා බිමට දාන්න පුලුවන්. ඒකට රනිල්ගෙන් රාජ්‍ය අනුග්‍රහය වුණත් ඒ වෙලාවට ලැබෙන්න පුලුවන්.

රනිල් වික්‍රමසිංහ, මේ නිදහස අස්සේ IMF ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න තිබෙන ඉඩ වැඩී. ඉක්මනින් දෙන සහන මිනිස්සු වෙනස් කරයි. වර්තමාන බටහිර බල දේශපාලනයේ තෑග්ග රනිල් වෙන්නත් පුලුවන්. ඒ තෑග්ග බටහිර ඕනෑ එපා කම් සමගින් වැඩ කරයි. ඒත් මේ තත්ත්වයන් අස්සේ ගෙන එන්න නියමිත ආර්ථික ප්‍රතිසංස්කරණ වලට වෘත්තීය සමිති විරුද්ධ වුණත් ජනතාව විරුද්ධ වෙන එකක් නෑ. 50%කින් රාජ්‍ය සේවකයෝ අඩු කිරීම වගේ යෝජනා වුණත් මේ ව්‍යාපෘතිය අස්සේ වැඩකරන්න තියෙන ඉඩ වැඩී.

අරගලයට මොකද වෙන්නේ?

මගේ නම් අදහස අරගලකරුවෝ බය වෙන්න ඕනී නෑ. ඔවුන්ට තියෙන්නේ මේ ආර්ථික වැඩපිළිවෙලට බාධා නොකර දේශපාලන සහ ප්‍රජාතාන්ත්‍රීය වෙනස්කම් වෙනුවෙන් බලපෑම් කරන්න. අඩුම නීතීඥ සංගමය ඉදිරිපත් කරපු වැඩපිළිවෙල හෝ ක්‍රියාත්මක කරගන්න ඒ අරගලය අත්‍යාවශ්‍යයි. එහෙත් එන්න එන්නම අරගලය දේදුණු වර්ණවල ඉඳලා රතු වර්ණයට මාරුවෙන බවක් පේනවා. ඒක එහෙම වුණොත් මේ අරගල බිම අවසානයේ අට්ටාලයකට විතරක් සීමාවෙයි. ඒ ගැන අරගලයේ නායකයන් ගැඹුරින් හිතන්න අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ.

කේ. සංජීව

Related posts