octopus

ලංකාවේ අපි රට වටේම මුහුද තියාගෙන ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ, කියව කියවා ඉන්නවා විතරයි. මාත් මේ ගැන නිතරම හිතුවා. ඇත්තටම මේ කතාව ඇත්ත. ලංකාව වටේම මුහුද වුණාට අපි කන කෑම පිඟානේ තියෙන කෑම ජාති අතරේ, මුහුදට කොච්චර ඉඩක් වෙන් වෙනවද? මේක මම කාලයක් තිස්සේ හිතමින් ඉන්න දෙයක්. අපේ දිව අපේ මුහුද විඳලා තියෙනවද හරියට, ඒකයි මගේ ප්‍රශ්නය.

මම කාලයක් සිංගප්පුරුවේ හිටියා. සිංගප්පුරුව කියලා කියන්නෙත් ලංකාව වගේම දූපතක්. මේ දූවේ මිනිස්සු මාළු (පොදුවේ මුහුදු ආහාරවලට මම මාළු කියන්නම්..) කන කෑම දැක්කාම පිස්සු හැදෙනවා. මුහුදු ආහාර වට්ටෝරු කොච්චරද? අම්මෝ හිතාගන්න බැහැ. සිංගප්පුරුව කියන්නේ ලෝකේ හරි මැද කියලා මම හිතන්නේ. ඒක පිස්සු හිතිල්ලක්. මේ මැද්දාව නිසා වටේ ඉන්න හැවෝම තම තමන් ගේ ආහාර රටා අරං ඇවිත් මේ දූව අස්සේ ඒවා මික්ස් කරලා, තනියෙන් තියලා, එක එක පිස්සු කරලා, දිවට රස අසූ කෝටියක් හදලා තියෙනවා. සිංගප්පුරුවේ හිටිය දිග කාලෙම මම හිතුවා ඇයි අපිට මෙහෙම විචිත්‍ර මාළු කෑමේ කලාවක් නොතිබුණේ කියලා. හදාගන්න බැරිවුණේ කියලා.

මේක ගැන හිත හිතා ඉන්නකොට තමයි මට මහාචාර්‍ය පුංචි බණ්ඩාර සන්නස්ගලයන් ලියපු වටිනා පොතක් මුලිච්චි වෙන්නේ. ඒකේ නම ‘මහනුවර රජ ගෙදර සූප සාත්‍ර පොත සහ සිංහල සූප කලා සාහිත්‍ය’. මේක කියෙව්වාම නැවතත් ඔප්පු වුණා අපේ දිව අපේ මුහුද විඳලා නෑ කියන එක, ඓතිහාසික ප්‍රශ්නයක් කියලා. ඒ පර්‍යේෂනයේ එක තැනක මහාචාර්‍යවරයා මෙහෙම ලියනවා ‘බත් අනුභවය සඳහා මත්ශ්‍යමාංශ පිළියෙල කරගැනීම කලාන්තරයක් තිස්සේම මෙරට පැවත එන සිරිතකි. ඒවා සඳහන් වන්නේ දියමස් සහ ගොඩමස් / දඩමස් වශයෙන් ය. එහිලා කෑමට ගත් දියමසුන් රැසක නාමාවලියක් අපගේ පොතපතේ දැක්වේ. කුඩමස්, පෙට්මස්, රේමස් (ලූල් මස්) මෙහිදී නිතරම හමුවේ. ආහාර පිනිස මෙම දියමස් ගත් බව පෙනෙන අතර, පැරණි සාහිත්‍යයේ අද භාවිතා වෙන මුහුදු මාළු පිළිබඳ සටහන් දකින්නට නැත’. මහනුවර මාළිගාවේ කෑම වට්ටෝරු කවියෙන් විස්තර කරනු ලබන ඒ පැරණි පුස්කොළ පොතට යන්නට කළින් කතුවරයා ගෙනහැර දක්වන පර්‍යේෂනාත්මක කරුණු අතර මෙම විස්තරය ඇත. එයින් පෙනෙන්නේ ඈත අතීතයේ ද අපි මුහුදෙන් දිව පිනවා ගත්තේ නැති බව නොවේද? ඔව්..

මීගමුවේ තියෙන මාළු කෑම රටා අස්සේ දියවුණාම ඒක තේරුන් ගන්න අමාරු නෑ. මීපුර වැසියෝ තමයි අපිට ඉන්න එකම පාරම්පරික ධීවරයෝ. ඒත් ඉතිං කියන්න කාරි නෑ ‘ඇබුල් තියල්’ විතරයි නෙව අපිට තිබෙන්නේ..!

ගෝ ඝාතනය හිරේට යවන දඬුවමක් වූ පැරණි කාලයේ ලංකාවේ ජනප්‍රියතම මස් විදිහට මිනිස්සු කෑවේ මුව ගෝන ඉත්තෑ කබල්ලෑ මොනර වගේ මස්. මොනර මාළු කියලා කියන්නේ ඒ කාලේ ජනප්‍රියම කෑමක්. ‘මොනර මාළු උඩ හල්ලේ නෙවෙද තියෙන්නේ, අපිට මාළු අලකොළ ඇයිද කුඩම්මේ?’ කියලනේ කීවේ.. අදනම් කතරගම දෙවියන්ගේ වාහනේ කියලා ගොඩක් අය මොනර මස් කන්නේ නෑ. ඒත් ප්‍රනීත කෑමක් තමයි මොනර මස් කියන්නේ. අපි මේ කතාකරන පොතේ එක තැනක තියෙනවා මොනර මස් මික්ස් කරලා එලඟි තෙලෙන් බැදලා කන්න ගන්න බතක් ගැන.

අද අපි මික්ස් රයිස් අර රයිස් මේ රයිස් කියලා මකරානුකරණය කරලා බත් කෑවට, ඒ වෑ මුල් තියෙන්නේ මේ වෑ. ඒක යි කතාව. ඒ කාලේ මස්, මී කිරෙන් සෝදලා මී පැණියෙන් සාත්තු කරලා, මාත්තු කරලා තමයි උයලා තියෙන්නේ. ඒ ඉවිල්ලත් මාරයි. අද දකුණු ඉන්දියාවේ සමහර තැන්වල මේ ඉවිලි තියෙනවා. අපේ ළඟ තමයි නැත්තේ. ඒවා ගැන වෙන වෙලාවක ලියන්නම්.

එදා අපි පාවිච්චි කරපු කුළුබඩු අද අපේ ගෙවල් අවට කෑලෑවල වල් වෙලා. අපිට ඒවා අමතක වෙලා ගිය තරම තමයි ඒ. ඔහේ එක හොඳ්දක් එක්ක බතක් කාලා, ඉන්න ඕනෑවට කන්න පටන් ගත්ත කාලේ කොයි කාලෙද කියන්න මම දන්නේ නෑ! ඒත් දිය හොදි, චෝ හොදි හදන අය චුට්ටක් හිතන්න, දිව ගැන. දිව උඩ ඇලවිලා තියෙන ජීවිතය නොවිඳ ගැනීමේ ලාටු ගලෝලා දැම්මොත් ඉන්න ටිකේ රසට කාලා ඉන්න ඇහැක් හොදේ..!

ඉතිං අපිට දැනවත් පුලුවන්නම් මේ ආහාර රටාව වෙනස් කරලා, රට වටේ තියෙන මූදෙන් එන කෑම ජාති වැඩියෙන් කන්න, අපි හිතන මජර විදිහත් වෙනස් වෙයි ඔහේට. දකුණේ මිනිස්සු බල මාළු කාලා මහින්ද මාතියාට ඡන්දය දුන්නා කියලා හිතන්නේ නැතුව, බලයා සාලයා විතරක් නෙවෙයි අනෙක් හැම ජාතියක්ම කන්න පුරුදු වෙමු. මූද කියන්නේ බලයා විතරක් පීනන තැනක් නෙවෙයි නේ.

ලංකාවේ මිනිස්සු 10ක් ගත්තොත් 6කට දැන් ෆැටී ලිවර්. නැත්තං අක්මාවේ තෙල් තැම්පත් වෙලා. මේකට ප්‍රධානම හේතුව බත් සහ පාන්. පාන් කීවාම පාන් පිටි හොදේ. ඉතිං අපි සෑයට බෙදාගන්න බත් එකේ කොතේ උස මිටි කරලා ඒක උඩට බෙල්ලෝ දැල්ලෝ ඉස්සෝ වගේ දේවල් ටිකක් එකතු කරගම්මු.

මේ ටික මට ලියන්න හිතුනේ කාලෙකට පස්සේ රත්නපුරේ ගිය පහුගිය දොහක මට බූවල්ලෙක් මුණගැහුන නිසා. මම ෆුඩ්සිටී එකට යනකොට බූවල්ලෝ තුන්දෙනෙක් හිටියා. ආයෙත් දෙපාරක් හිතුවේ නෑ. ගත්තා බූවල්ලෝ තුන්දෙනාම. කිලෝ දෙකකට වැඩී. ගානත් එච්චර නෑ. කාලෙකට පස්සේ හිත පිරිලා. ගෙදර අරං ගියාම ගොඩක් අය වටවුණා බූවල්ලා බලන්න. හැවෝම ජීවිතේ පළවෙනි වතාවට තමයි හැබැහින් බූවල්ලෙක් දැක්කේ. මේක තමයි ඛේදවාචකය. මේ කෑම ගැන හරිනම් ඉස්කෝලවල උගන්වන්න ඕනෑ. අපිට ආහාර රටාව වෙනස් කරගන්න පුලුවන්නම්, අපේ සිතුවිලි රටාව ඉබේ වෙනස් වෙයි. මට එහෙම හිතෙනවා.

ඉතිං මම බූවල්ලා ගෙනල්ලා මේක හදන ක්‍රම ගැන නිකමට හිතුවා. ආසියාව ගත්තොත් ජපානය කොරියාව හොඳටම බූවල්ලෝ ආහාරයට එකතු කරගන්නවා. අපිට ළඟ මාලදිවයිනත් මේ බූවල්ලන් කෑමට ප්‍රසිද්ධයි. ඒගොල්ලෝ බූවල්ලෝ හදනකොට හදන්නේ කරපිංචා එහෙම ඇති පදමට මික්ස් කරලා. මේකට එයාලා කියන්නේ Miruhulee boava කියලා. ඉතිං අපි දැන් මොකෝ මේ බූවල්ලාට කරන්නේ?

බූවල්ලෙක් ගෙදර අරගෙන ආවාම හොඳට හෝදන්න අමතක කරන්න එපා. මොකද උන්ගේ අර සිදුරු අස්සේ වැලි තියෙන්න පුලුවන්. ඊළඟට ඔලුවත් එක්ක තියෙන බඩ පලලා කළුපාට ජූස් ටික අයින් කරලා සුද්ද බුද්ද කරලා සෝදලා ගන්න ඕනෑ. ඊට පස්සේ මේක තම්බලා ගන්න එක හොඳයි. අපි ලංකාවේ සාමාන්‍යයෙන් බූවල්ලෝ මුලින්ම තම්බලා ගන්න පුරුදු වෙලා.

මෙහෙම තම්බලා ගත්තට පස්සෙ කෑලි කපලා දැල්ලෝ හොද්දක් වගේ හදන්නත් පුලුවන්. එහෙම හදනවානම් පොල් කිරට කහපාටට හදන්න, එතකොට රසය වැඩී. මිරිස් කරල් ටිකක් පුච්චලා කෑලි ලොකුවට එන්න කඩලා උඩින් ඉහ ගන්න. සුවඳ නහය සිප ගන්නවා ඇත්තයි. එහෙමත් නැත්තං මේක ඩෙවල් දාගන්නත් පුලුවන්. එහෙමත් නැත්තං පස්තා වගේ දෙයක් එක්ක මික්ස් කරලා චීසි කරලා මයොනීස් කරලා කන්නත් පුලුවන්. එහෙමත් නැත්තං ලූණු කොළ ගෝවා මික්ස් කරපු තාච්චියක එහෙට මෙහෙට වෙන රයිස්සුවක් අතරට වීසිකරලා ඩකොස් ඩොකොස් ගාලා එහෙට මෙහෙට රෝල්කරලා උඩ දාලා කෑම මේසෙට ගන්නත් පුලුවන්. මේසේ උඩට ගන්න ක්‍රමය තියෙන්නේ ඔයාගේ දිවේ තරම උඩ තමයි ඉතිං..! දිව දිගයිනම් දිව ගොඩක් සංස්ක්ෘතිකයිනම් වැඩේ ඉබේ වෙයි..

එහෙමත් නැත්තං බූවල්ලා සම්පූර්ණයෙන් මලක් පිපිලා වගේ ලස්සනට අරගෙන ග්‍රීල් කරන්න. හැබැයි උඩට දෙහි ඉස්ම ඕසෙට හලන්න. තක්කාලි සෝස් වගේ සෝස් ජාති(රස හැම වෙලාවෙම ඔබ තීරණය කරන්න), කෑලි මිරිස්, ගම්මිරිස් රස එක්ක එකට අමුනලා පුච්චලා ඊට උඩින් ලෙමන් ඕසෙට ඉහලා කරලා ගත්තාම ඉතිං බූවල්ලගේ වලිගයත් හොයාගන්න ලැබෙන්නේ නෑ. ඕනෑම නම් කලමරි හදන්නත් පුලුවන්. තම්බලා කරලා අරං බිත්තර එක්ක සාරු උන පිටි ජූසියක ඔබලා ඔතලා අරගෙන ගැඹුරු තෙලේ බැදගන්න. ඒක දිව්‍යලෝකේ ඉන්න බූවල්ලන්ගේ රස ඔබට අරගෙන එනවා සුවර් එකටම. රවුමට රවුමට කපාගත්ත ලොකු ලූණු රවුම් අතරට මේ කලමරිය දාගෙන එකින් එක කටට දාගන්න. චිල්ම චිල් බීර වීදුරුවක් ළඟින් තියාගත්තනම් ඉතිං පෙම්වතිය ළඟට ආවා සේ තමයි..

එහෙම මොකවාත් බැරිනම්, කම්මැලී වගේ නම්, ඒත් බූවල්ලා කන්නම ඕනෙත් නම් කැරට් ලීස් වගේ එලවළු එක්ක බූවා තම්බන්න. හැබැයි වතුර ගොඩක් දාගන්න එපා. ලුණු ගම්මිරිස් පදමට දාගන්න. ගම්මිරිස් ඇට තලන්නේ නැතුව දාගන්න. ආ කියන්න අමතක උනාගේ, බූවා තැම්බෙන්න එළවළු සූපයට දාන්න කළින් එයාට හොඳට ගහලා එයාව චොප් කරගන්න අමතක කරන්න එපා. ජූසි වගේ ආවාම ඒවා එළවළු එකට මික්ස් වුණාම රස දෙගුණ වෙනවා. ඊටපස්සේ ඉතිං දෙහි පදමට මිස්ක් කරලා කන ගමන් බොන්න තියෙන්නේ. මේකට බණ්ඩක්කා, බටු තක්කාලි වගේ දාගත්තාම තවත් රසයි. හැබැයි තක්කාලි, බණ්ඩක්කා කපන්න යන්න එපා ගෙඩිය පිටින් දාගත්තාම රසවත් වෙනවා වැඩී.

ජපන් ජාතිකයෝ දෙවෙනි ලෝක යුද්ධය පරාද වුණාට පස්සෙ තමන්ගේ ආහාර රටාව වෙනස් කරගෙන මුහුදට බැහැලා මුහුදු ආහාර වැඩි වැඩියෙන් කන්න හුරු උනා කියලා මම අහලා තියෙනවා. මේක ඇත්තමද කියන්න මම දන්නේ නෑ. ඒත් මුහුද කියලා කියන්නේ අපිට අලුතින් සොයාගන්න තියෙන ක්ෂිජයක්. ඒක නෙක ක්‍රමයන්වලට ඉස්සරහාදී සොයා ගත්තොත් ගවේශනය කළොත් අපි මේ වැටිලා ඉන්න අඳුරු ආගාධයෙන් ගොඩට එන්න අපිට අමාරු වෙන එකක් නෑ…!

කේ. සංජීව

Similar Posts