අලයි කොළයි බඩගින්නයි

alai-kolai

සාඟතයට මූන දෙන්න එක එක කෙනා එක එක කයිය. මේ මගේ දෙවෙනි කයිය. ගිය සතියේ මස් ගැන කයිය. මේ කොළ සහ අල ගැන කයිය. ඉස්සර නුවර මාලිඟාවේ කෑම සුත්‍රයේ වැඩි හරියක් තිබුණේ කොළ. පලා කියලත් කියනවා. මේක මම දන්න කොළ සහ අල ගැන. තව කෙනෙක් ඉන්න පුලුවන් මීට වඩා කොළ කාලා තියෙන. ඒ අය සමාවෙන්න ඕනී.

ගොටුකොළ

gotukola

මම හොඳට කොළ කාපු මිනිහෙක්. පොඩි කාලේ කෑවෙම ගොටුකොළ. ‘ඒ නිසා තමයි උබට දුර පේන්නේ’ අපේ අම්මා මේ ගොටුකොළ මතකය අවුස්සනකොට කියනවා. අපේ ගේ ඉස්සරැහින් ගඟ. ගඟට මායිම් වෙලා අනික් පැත්තේ කොකින් කියන සුද්දා හදපු හිග්ගස්තැන්න වත්ත. දැන්නම් ඒක බලංගොඩ ප්ලාන්ටේෂනයට තමයි අයිති. ඉස්සර අපි පොඩි කාලේ මේ වත්තේ රබර් ගස් යට කැලෑව නෑ. තිබුණේ ගොටුකොළ වගේ ජාති. ඉතිං අම්මලා දර ඇහිදිනකොට අපි ගොටුකොළ උදුරනවා.

ගෙදර ගෙනල්ලා රෑට පොල් දාලා සම්බල් හදනවා. නැත්තං උදේට කොටලා කැඳ උයනවා. ගොටුකොළ හොඳට පොල් දාලා සම්බෝලෙට හැදුවාම බත් ඕනී නෑ කොළම කන්න පුලුවන් කියලා මම තේරුන් ගත්තේ මොනරාගලදි මට බෙන් සුද්දා හම්බවුණාම. මිනිහා ඉතිං නක්කලට වෙලා ගහක් උඩ ගෙයක් එහෙම හදාගෙන සජීවී ආහාර ගිලින හාදයා. මිනිහා තමයි ඉගැන්නුවේ ගොඩක් කොළ ජාති හරකෙක් වගේ නොවී සංස්කෘතිකව කෑවාම බත් වෙනුවට හොඳ ආදේශකයක් කියලා. ගොටුකොළ මීකිරට දාලා කාලා බලන්න. ආයේ බත් ඕනී නෑ.

කන්කුන්

kankun

එක ගමනක් මන්ඬාවල හාමුදුරුවෝ ලංකාවට ආපු වෙලාවක අපි ගියා උන්නාන්සේ හමුවෙන්න. ඒක දුලබ අවස්ථාවක්. අපි එහේ ගිහිං දවාලට වාඩිවුණාම හාමුදුරුවෝ කෑම මේසේ වට්ටියක අමු කන්කුන් ලස්සනට සුද්ද බුද්ද කරලා සෝදලා කරලා තියලා තිබුණා මල් කළඹක් වගේ. ‘මේක අමුවෙන් කන්න’ හාමුදුරුවෝ එහෙම කිව්වා. ඉතිං අපිත් ඈවා. ඒකත් මරු කෑම. මම මේ ලියාගෙන යන්නේ අපිට පෝර නැතුව ලේසියට ඕසෙට වවන්න පුලුවන් ජාති. කන්කුන් කියන්නේ දිය සීරාව තියේනම් ආයේ වැල් වැල් තමයි රජෝ. අනේ වැවෙන්න එපා කීවත් වැවෙනවා තමයි. ගොටුකොළ උනත් ඒමයි. හදන්න ලේසියි.

මේ විදිහට කොළ කන්න පුලුවන් ජාති මම මෙහෙම ලියන්නම්. ඇත්තටම අලකොළ මියනකොළ කැරැන් වගේ ජාති අපිට රත්නපුරේ එහෙම නම් එළියට බැස්ස ගමන් කඩාගන්න පුලුවන්. ගඟ අයිනට ගියාම කළු අලකොළ සුදු අල කොළ ඕසෙට. මියන කොළත් එහෙමයි. මේ ජාති දෙකත් රහට කළු පාටට කිරට කරී කරගත්තාම බත් ඕනී නෑ ජීවිතේ රැක ගන්න පුලුවන්. බත් සුඟක් එක්ක මේවගේ කොළ ජාති පහක් කාගත්තොත් ගොඩ. මියන කොකු කැරැන් කොකු වගේ ජාති අපේ මිනිස්සු සලකන්නේ මාංශ විදිහට. කයියට කියන්නේ මස් කෑවා වගේ ගුණයි කියලා. ඉතිං මෙහෙම බත් නැතිවුණත් යහමින් කෑවොත් බඩ පිරෙන ඒ වගේම යහමින් සොයා ගන්න ඇහැක් කොළ ජාති ටිකක් ලියාගෙන යන්නම්.

කතුරුමුරුංගා, මුගුණවැන්න, නිවිති, සාරණ, රණවරා, කිරිඅගුණ, වැල්කොහිල, තැල්කොල, කරකොල, කුප්පමේනිය දළු, අබ කොළ, මුරුංගා කොළ, තෝර කොළ, එරබඳු කොළ, පැනිතෝර කොළ, ගස් නිවිති, අක්කපාන, ගෙදපලා, ලුනුවිල, පොල්පලා, බතල කරටි, ගිරාපලා, වට්ටක්කා දළු, අසමොදගම්, කොහිල දළු, කොප්ප කොළ, කිරි හැන්ද, නීරමුල්ලිය (ඉකිලිය), මැකරල් කොළ, පැෂන් කොළ, ගල්කූර, වෙනිවැල්, මේ හැම කොළයක්ම එළියට බැස්සාම ගම්වල අපි දිහා කොළ පාටට හිනාවෙලා බලාගෙන ඉන්න ජාති. ඒ වගේම පෝර නැතත් ඕසෙට හැදෙන ජාති. නිකං තම්බලා කෑවත් කන්න පුලුවන් ජාති.

හාතවාරිය, ඉරමුසු, කරපිංචා, උඳුපියලිය, ගොනිකා කොළ, හීන් බෝවිටියා කොළ වගේ ඒවා රසට කැඳ හදන්න පුලුවන්. කැඳ කියලා කියන්නේ සහල් අරපිරිමැස්මට හොඳ ක්‍රමයක්. සහල් පොඩ්ඩක් බෙරිකරලා ඒකට පොල් කිරි සහ මේ කොළ වර්ග කොටලා ඒ සාරය දාලා ගත්තානම් හොඳ සුප් එකක් බොනවා වගේ තමයි. කෙනෙක් අහන්න පුලුවන් උදේට කිරි බීපු අපි ඇයි මේ වගේ ආයෙත් ආපස්සට යන්නේ කියලා. ඒත් ඉතිං කොරන්න දෙයක් නෑ. ආපස්සට යන්න වෙනවනම් යමු කියලා තමයි කියන්න තියෙන්නේ.

kada

ඔය ගොඩේ තියෙන වට්ටක්කා දළු එහෙම නැත්තං වැල් කොහිල දළු වගේ දේකට කොස් ඇට යහමින් දාලා කිරට හදලා ගත්තනම් ආයේ බත් මොකටද කියලා ගිලලා දාන්න තියෙන්නේ. බතල කරටි උනත් එහෙමයි. දැන් මේ යන විදිහට බතල වැල් ටිකක් වට්ටක්කා වැල් ටිකක් ගමේ මිනිහා හිටෝ ගත්තට කමක් කාරියක් නෑ. පීසා කන්න නැත්තං ඉතිං හුළං බොන්න කියලද?

neeramulliya

මේ උඩ තියෙන නීරමුල්ලිය අසමෝදගම් වගේ දේවල් අමුවට සලාදෙට රසට යන්න ඇහැක් කොළ හරිද? ට්‍රයි කරලා බලන්න. නුවරඑළියේ ඉන්න හාවොන්ටනම් කැරට් දළු තියේ, මෙහෙම සලාදෙට කන්න. කෝප්ප කොළ, කොස් දළු, අලිපේර දළු, සිංගප්පූරු කොළ (ජපන් බටු කොළ) වගේ කොළ ජාති ගොඩක් ඇතුල්පතට එකතුකරන් ඇවිත් ඉස්සර අපේ අම්මා හදනවා දහදුරා මැල්ලුමක්. ඒකත් මාරම රහයි. මේවා ඇත්තටම යමින් කන්න වෙන කාලයක් මේ එන්නේ. ක්‍රෝටන් කොළත් කන්න වෙයි කියලා කලින් කීවට කෝ ඉතිං ගනන් ගත්තද? නෑ නේ.

කොස් දෙල්

jackfruit

උඩ කොළ වර්ග වගේම තමයි කොස් දෙල් මඤ්ඤොක්කා අල බතල. ඉස්සර අපේ ගෙවල්ලවල තිබුණා අල පල්ලම කියලා එකක්. ඒකේ පේරාදෙණියේ මඤ්ඤොක්කා, රාජ අල ( දන්දින්න), කහට කොඩොල්, කිරි කොඩොල්, වල් හබරල, හිඟුරල, සව් අල (හුළං කීරිය), ආඩිසෝක් වගේ අල ජාති තිබුණා. මේ හැම එකක්ම පෝර නැතුව හැදෙන මඟුල්. පෝර ඕනී නෑ ඕනී වැල් ගාලක මේක උඩට නඟිනවා. බිමට පසාරු කරන් අල බහිනවා.

raja-ala

සව් අල වගේ දේවල් වඳ කරන්න බැරි ගස් ජාති. ඒත් වල් ඌරා ගමට ආවට පස්සේ දැන් මේ අල පල්ලම හොයාගන්න නෑ. ඒත් මේ අල ඉක්මනින් වවන්න පුලුවන්. ඒ වගේම පෝර නැත්තං බඩු දෙනවා සුවර්. මේවා ආක්‍රමණිය ගස් වගේ තමයි පොළව බදාගෙන නැඟෙටින්නේ. ඒකයි මේ කියන්නේ. ගෝඨාභය සර් උනත් දැන් කියන්නේ කොහොමහරි වවාපල්ලා කියලානේ.

atukos

මම හිතන්නේ දැන් අපි ගස් යට වැටිලා යන කොස් දෙල් වේලන්න අටුකොස් හදන්න පටන් ගන්න ඕනී. දෙල් අටු කොස් එහෙම කියන්නේ බත් ඕනී නෑ කියලා දෙසාබාන්න පුලුවන් කෑම ජාති. වැලි කොස් ඇට නොදැම්මත් දැන් ගොඩක් ගම්වල ඩයර් මැෂින්ස් තියෙනවා. ඒවට දාලා වතුර ටික සින්ඳලා නිදිකරවාගෙන සෑහෙන්න කාලයක් තියාගන්න පුලුවන්. කොස් විජලනය කිරීම කියලා කියන්නේ හොඳ ව්‍යාපාරයක්. අපනයන අවශ්තා පවා තිබෙන කර්මාන්තයක් ඒක. ඒත් අපි තවම කඩුව තියාගෙන කොස් කොටන්නේ කොහොමද කියලා කල්පනා කරන ජාතියක්. ඒක නෙව අපිට කෙළවෙලා තියෙන්නේ.

kos-ata

මඤ්කොක්කා කියන්නේ තම්බලා කන්න විතරක් නෙවෙයි ඒකෙන් පිටි හදන්න පුලුවන්. රොටී පුච්චන්න පුලුවන්. කොස් උනත් එහෙමයි. කොස් තම්බනවා විතරක් නෙවෙයි කොස් කොත්තුවක් දාලා කාලා බලන්න කොහොමද කියලා. බතල උනත් පිටි කරන්න ඇහැක්. ඒත් අපි මේ හැමදෙයක්ම අතෑරලා මිලේනියම් එකට ආපු ජාතියක් නෙව. මම නිතරම කල්පනා කරන දෙයක් තමයි උග්ගස් කොහොමට ගෙවල්වල හදාගන්න පුලුවන්ද කියලා. ඕසෙට වැවෙනවා වැවෙන්න ගත්තාම.

uk

මම මේ කියන්නේ උක් වවලා ගෙදරම සීනි හදන්න කියන ජාතියේ පාදෙණිය ප්‍රකාශයක් නෙවෙයි. ඒත් උක් ජූස් එකක් නිකමට බීලා බලන්න කොහොමෙයි කියලා.

හතු වර්ග

hathu

අන්තිමට ලියන්නම් ඉතිං හතු ගැනත්. අපි ඉස්සර පතල්වල ගොඩ ගහලා තියෙන රබර් කොටන් වල සුදු රෙද්ද වහලා වගේ පිපිලා තියෙන ලේන හතු ගලවා ගලවා සරොමට එක්කාසු කරනවා. ඒ බැදලා කන්න. එහෙමත් නැත්තං අබරලා සම්බෝල කන්න. එහෙමත් නැත්තං කිරිහොද්දට දාලා කන්න. මේක මාර රස කෑමක්. ඒ වගේ තමයි ඕසෙට වැලි හතු පිඳුරු හතු පිපෙනකොට අතාරින්න එපා. ගලවන්න. කන්න බැරිනම් වේලන්න. වේලලා තියාගන්න මස් මාංශයක් නැතිවුණ දවසට ගිලලා දාන්න.

lena-hathu

ඉස්සර ඉඳලෝළු හතු පිපෙනකොට එක දිගට දවස් හතක් විතර ඕසෙට පිපෙනවා. වැඩි හරියක් කුණු වෙලා යනවා. දැන්නම් ඉතිං කොරන්න තියෙන්නේ තම්බලා වේලන එක. කන්නම බැරිනම්. ඉඳලෝළු කියන්නේ කෙළින්ම මසක් වගේ කෑමක්. ප්‍රෝටීන බහුල මේවගේ කෑම ජාති දැක්කොත් අතාරින්න එපා. ඊළඟට ඌරු කන් හතු ඒවත් ඒම තමයි.

මෙහෙම හතු ගැන කතාව ආවාම මට මතක් උනා අපේ ගම්වල තවමත් ඉතුරු බිතුරු කෑලෑ කැටිති අස්සෙන් අපි සොයාගෙන එන කෑම ජාති ගැන. කැලෑ දෙල් කියන්නේ එහෙම ජාතියක්. මත් වෙන්න කන්න පුලුවන් ජාතියක්. ගෝනිවලට කඩාගෙන ඇවිත් ඔය සමූහ කුස්සියේ තියලා වටේට වාඩිවුණානම් ඉතිං ආයෙත් මොනාද සුද්ද කරලා ගන්නයි තියෙන්නේ. කහට ගෙඩි ඊළඟ ජාතිය. රසට රස කරියක් මලුවක් හදාගෙන ගිලින්නයි තියෙන්නේ.

කෙසෙල් පොල්

polsambola

ඊළඟට අපිට මේ කෙමනෙන් ගැලවෙනකම් අපිට කන්න නැතිවුණොත් ජීවිතය රැකගන්න හොඳ දෙයක් තමයි පොල්. පොල් කීවාම ඉතිං පොල් මදය, පොල් කිරි විතරක් නෙවෙයි පොල් පැණි උනත් මේ කාලෙට ප්‍රවර්ධනයට හොඳ දේවල්. පොල් කිර කියන්නේ අම්මගේ කිරි වලට පස්සේ හොඳම කිර කියලා සමහරු කියනවා. මම නම් පොල් කිරි එක්ක පිට්ටු කන්න හරිම ආසයි. ඒවගේම කිරි හොද්ද එක්ක කොස් තම්බලා කන්නත් ආසයි. මේවා කන්න තියේ නම් ආයෙත් මොකටද බත්. පොල් සම්බල් හදලා වැඩිපුර කන්න. ඒක සරීර සෞඛ්‍යට ගුණයි. බඩත් පිරෙනවා. ඕනී නම් සූඩයෙක් වගේ කරවලයෙක් පුච්චලා දාලා සම්බෝලේ අබරගන්න තවත් රහයි. දෙහි වැඩිපුර දැම්මාම තවත් රහයි. ඇත්තටම පොල් කියලා කියන්නේ බඩ ගින්නට වගේම පෝෂණයට කියාපු බඩුවක්. වැඩේ උනේ අපි පොල් වීසිකරලා වෙන වෙන තෙල් ජාති බදා ගත්තානේ.

ඊළඟට ඉතිං ඔය අලු කෙසෙල් විතරක් නෙවෙයි තම්බලා කන්න පුලුවන්. සීනි කෙසෙල් තම්බලා කාලා වේල් පිරිමහා ගත්ත මිනිස්සු අපි. ඒනිසා බැරිවෙලාවත් ආහාර අර්බුදයක් ආවොත් කෙසෙල් කියලා කියන්නෙත් ඒකට හොඳ උත්තරයක්. කෙසෙල් බඩය උනත් රස කෑමක් ඉතිං. කෙසෙල් බඩ රසට මාලුව උයලා කාපු හාදයෝ දන්නවා කෙසෙල් බඩේ ගුණේ සහ රසේ. පොල් මිරිස් බැදලා අඹරලා උයලා බලන්න කොහොමද කියලා.

මේහෙම දේවල් එක පෙළට මෙහෙම ලියාගෙන යනකොට මට නම් හිතෙන්නේ අපේ රටේ ගමේ මිනිස්සුන්ට මේක එතරම් දරුණුවට බලපාන එකක් නෑ කියලා. ගම උනත් දැන් කතා කරන සාමූහික කුස්සිය වගේ සංකල්ප අස්සට යනවා නම් ඒක මරු. එහෙම උනොත් අපිට තව ලේසියට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න ඇහැක්.

කේ. සංජීව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….