අතීතයේදී මිදිගම ලෝඩ්ස්ටාර් ආයතනය බිහි කළ නිර්මාතෘවරුන් විසින් ගොඩනගන ලද ආයතනික සාරධර්ම පද්ධතිය හේතුවෙන් ආයතනයේ සේවකයිනුත්, නිලධාරීනුත් අතර හොඳ සමීතාවක් තිබුණු බවත්, මෙම අන්‍යෝන්‍ය බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ආයතනය දිනෙන් දින දියුණුවට පත් වූ බවත් ආයතනයේ පුරෝගාමී නිලධාරිවරයකු වන ජගත් ඩී. ආදිපොල මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි.
“ඒ කාලේ අපේ උද්‍යෝග පාඨයක් තමයි ‘කළ නොහැක්කක් නොමැත’ කියන එක. ඇත්තටම සේවක මහත්වරුනුත් – නිලධාරීනුත් අතර තිබූ සමීප සම්බන්ධතාවය නිසා අපේ ක්‍ෂේත්‍රයේ ඕනැම දෙයක් කරන්නට අපට හැකියාව ලැබුණෙ. ඒ හැකියාව තමයි ආයතනය ලෝකයේ ප්‍රමුඛම ගල් ටයර් නිෂ්පාදකයා කියන තැනට අරගෙන ගියේ,” යි ඔහු පවසයි.
කාලයත් සමඟ ක්‍රමයෙන් සාරධර්ම පද්ධතිය පිරිහීමෙන් ආයතනයේ සේවකයින් හා නිලධාරීන් අතර දුරස් වීමක් සිදු වූ බව ඔහු පෙන්වා දෙයි. “ක්‍රමයෙන් දේශපාලනය ඇතුළට රිංගුවා. ලංකාවේ වෙනත් කිසිම ආයතනයක නැති සුබසාධනයක් තිබුණ ආයතනය තුළ අනවශ්‍ය වෘත්තීය සමිතියක් හදාගත්තා. දැන් ඒ දේවල්වල ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා,” යි ද ඔහු පවසයි.
ආයතනයේ නිර්මාතෘවරයෙක් වන ආචාර්ය තිස්ස ජිනසේන මහතා විසින් ද මෙම ගැටලුව ඉක්මනින් විසඳාගන්නා ලෙස ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබිණි.
ලෝඩ්ස්ටාර් සමගම වසරකට ඩොලර් මිලියන 500ක අපනයන ආදායමක් රටට ගෙන එන ලොව දෙවන විශාලතම ඝන ටයර් (Solid Rubber Tire) නිෂ්පාදකයා බව වාර්තා වේ.ශ්‍රී ලංකාවේ අපනයනයෙන් 3%කට මෙම සමාගම දායක වේ. දේශීය රබර් නිෂ්පාදනයෙන් 50% කට වඩා මිලදී ගන්නා බව කියන මෙම සමාගමේ සේවක සංඛ්‍යාව 8,000ක් බව ද වාර්තා වේ. කුඩා විදුලි බලාගාරයක් බඳු මෙහි වහලය සතු සූර්යබල පද්ධතිය මගින් මේ මොහොතේ මෙගවොට් 2.8 විදුලියක් නිපදවන අතර දිවාකාලයේ ඒම විදුලියෙන් 34% ජාතික පද්ධතියට ඒක්කරයි ඒය ලංකාවේ විශාලතම සූර්යබල පද්ධතිය සතු වහල ලෙස සැලකේ.
සියල්ලටම වඩා වැදගත් කාරණය වන්නේ මෙම ශ්‍රී ලාංකික සමාගම ලොව ඝන ටයර්වලින් 25%ක් හා සම්පීඩිත වායු ටයර්වලින් 5%ක් නිෂ්පාදනයට දායක වීමයි. මෙවැනි සාර්ථක කර්මාන්ත ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අතිශය වැදගත්. වෘත්තීය අයිතිවාසිකම් රැකගැනීම මෙන්ම, මෙවැනි ආයෝජන රැකගැනීම ද අත්‍යවශ්‍යයි.
මුලින් Jinasena Solideal සමාගම ලෙස බෙල්ජියන් ජාතික ඉංජිනේරුවකු සමග හවුල්කාරීත්වයෙන් 1984දී ආරම්භ වූ මෙම සමාගම ඉන්පසු කර්මාන්ත ටයර් සඳහා සිල්ලර අලෙවි ජාලය සමග සම්බන්ධතා ඇති තවත් ආයෝජකයකු සමග හවුල් වෙනවා. 2005 වන විට එය ලොව ප්‍රධානම කර්මාන්ත ටයර් නිෂ්පාදකයා බවට පත්වෙනවා. පසුව තවත් සමාගමක් අතට පත්ව, ඉන්පසුව Michelin සමාගම විසින් මිලදී ගන්නා ලද මෙම සමාගම වර්තමානයේදී Ceat GHT සමාගමට අයත්ය. කෙසේ වෙතත්, සේවක උද්ඝෝෂණ හේතුවෙන් සමාගම අවදානමට ලක් වී තිබේ. උද්ඝෝෂණය කරන සේවකයෝ වෘත්තීය සමිතියේ නායක, වත්මන් ආණ්ඩුවේ ඇමති වසන්ත සමරසිංහට ද චෝදනා කරති.
කෙසේ වෙතත්, අන්තර් සමාගම් සේවක සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් සංගමයට එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර දිනාගත නොහැකි ඉල්ලීම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සේවක පිරිසකට චෝදනා කරයි.
කම්කරු නියෝජ්‍ය ඇමති සහ ජවිපෙ වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ මහතා ද පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මෙම වර්ජනය පසුපස කිසියම් බලවේගයක් ඇති බවට සැක පළ කළේය. සමාජ මාධ්‍ය සටහනක් තබමින් මහින්ද ජයසිංහ මහතා මෙසේ පැවසීය:
“එහි සේවකයන් පිරිසක් පසුගිය දා චෝදනා කර සිටියේ අඩු වන්දි මුදලක් ලබා දෙමින් තමන්ව සේවයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි.
“කෙසේ වෙතත් මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මැයි 29 කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වුණේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඊට කර්මාන්ත ශාලාවේ හිටපු පාලනාධිකාරිය සහ වත්මන් පාලනාධිකාරිය සහභාගී වුණා.
“එහිදී ඔවුන් පෙන්වා දුන්නේ පෙර පැවති සේව්‍ය සේවක අවබෝධතා ගිවිසුම වත්මන් පාලනය යටතේද ක්‍රියාත්මක කරන බවයි.
“එමෙන්ම සේවකයන්ට වඩා වැඩි ප්‍රතිලාභ සහ වරප්‍රසාදල ලබා දීමද වත්මන් පාලනාධිකාරයේ අරමුණ බවද එහිදී ප්‍රකාශ වුණා.
“ඊට අමතරව කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමි වීමක් සිදු නොවන බවයි පාලනාධිකාරිය අවධාරණය කළේ.
“සේවක භාරකාර සහ සේවක අර්ථසාධක අරමුදල් පෙර පරිදිම සේවකයන්ගේ සාමාජික අංකයට අනුව ගෙවීමටද ආයතන කළමණාකාරීත්වය එකඟතාව පළ කර තිබෙනවා.”
මේ බව තහවුරු කරමින් වත්මන් පාලන අධිකාරිය ද නිවේදනයක් නිකුත් කළා.