ලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්‍රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි.

ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත ගත කළ අයයි. ඔවුන් බොහෝ දෙනෙකුට ලංකාවේ රජයේ රැකියා, හොඳ ගෙවල්, කුලියට දුන් දේපළ, ඉඩම්, ව්‍යාපාර, වාහන, ඉතුරුම් ආදිය ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඔවුන් පළා යන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යයි කියමිනි. එහෙත්, බොහෝ විට, ඔවුන්ට සංක්‍රමණය වී ළමයින් වැඩි වියට පැමිණෙන තෙක්ම ඔවුන්ට ලංකාවේ තිබුණු ජීවිතය තරම් යහපත් ජීවිතයක් ලබාදීමට හැකි වන්නේ නැත. ළමයින් බොහෝ දෙනෙකුට සිදු වූ ක්ෂණික විපර්යාසය දරාගැනීමට ද හැකියාවක් නැත.

මෙසේ නොවුණ අය ද සිටිති. එහෙත් අල්පය. මා මේ ප්‍රජාවන් නිරීක්ෂණය කරන ප්‍රධාන ආකාරයක් වන්නේ ඔවුන් ලංකාවේ සිටියදී දක්නට ලැබුණු ට්‍රිප් යාමේ මානසිකත්වයයි. ලංකාවේ සිටියදී අවුරුද්ද පුරා විවිධ තැන්වලට යමින්, හෝටල්වලින් කමින් බොමින් ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරමින් සිටි බොහෝ අයට බටහිර රටක ඇපල් වත්තක්වත් බලන්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකින් බව නිරීක්ෂණය කළ හැකිය. සමස්තයක් ලෙස, ඔවුන් අවස්ථා ඡායාරූප නොමැති ප්‍රජාවක් බවට හිටිහැටියේ පරිවර්තනය වෙති.

කෙසේ වෙතත්, මෙම ලිපියේ අරමුණ වන්නේ ලාංකිකයන්ගේ මෙකී අනාරක්ෂිත හැඟීම්වලට හේතු විය හැකි භාෂාත්මක කාරණයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමයි. මාතෘකාවේ දක්වා තිබෙන Defense, safety, security and protection යන වචන හතරටම තිබෙන්නේ එක් සිංහල වචනයක් පමණි. එනම් ආරක්ෂාව යන්නයි.

මෙම ඉංග්‍රීසි වචන හතරෙහි අර්ථ එකිනෙකින් වෙනස් ය. මෙම වෙනස උදාහරණ ඔස්සේ මෙසේ පැහැදිලි කළ හැකිය.

Safety යනු ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා දුම් හඳුනාගැනීමේ සහ ගිනි නිවන උපකරණ තිබීම වැනි තත්වයකි. හානියෙන් හෝ අවදානමෙන් නිදහස් වීමේ තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරයි. එය අනතුරක් සිදුවීමට ඉඩ නොදෙන තත්වයන් නිර්මාණය කිරීමයි.
Security යනු නිවසකට අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා ශක්තිමත් දොර සහ අගුල් තිබීම වැනි තත්වයකි. එය භෞතික ආරක්ෂාව පමණක් නොව සොරකම්, සයිබර් ප්‍රහාර, හෝ තොරතුරු නැතිවීම වැනි දේවලින් ආරක්ෂාව ද ඇතුළත් වේ. වැළැක්වීම, හඳුනාගැනීම, ප්‍රතිචාරය සහ ප්‍රතිසාධනය ඇතුළු බහු-ස්ථර ප්‍රවේශයක් ඇතුළත් වේ.
Defense යනු දැනටමත් නිවසට කඩා වැදී ඇති සොරෙකු සමඟ සටන් කිරීම වැනි තත්වයකි. එය දැනටමත් පවතින හෝ ආසන්න තර්ජනයක් සක්‍රීයව පලවා හැරීම අදහස් කරයි. ආරක්‍ෂාව බොහෝ විට මිලිටරි ක්‍රියාමාර්ග සමඟ සම්බන්ධ වේ. එහෙත්, එය ඔබ අනතුරකට එරෙහිව සටන් කරන ඕනෑම අවස්ථාවකට අදාළ විය හැකිය.
Protection යනු අනතුරකින් තුවාල වීමෙන් ආරක්ෂා කිරීම සඳහා ඔබේ දරුවා වෙනුවෙන් විශේෂ මෝටර් රථ අසුනක් භාවිතා කිරීම වැනි තත්වයකි. බොහෝ දුරට, වලට සමාන වේ. චිත්තවේගීය හානියකින් යමෙකු හෝ යමක් ආරක්ෂා කිරීම ද අදහස් කළ හැකිය. බොහෝ විට යමක් හෝ කෙනෙකු අතර බාධකයක් නිර්මාණය කිරීම සහ ඇති විය හැකි තර්ජනයකින් ආරක්ෂා වීම ඇතුළත් වේ.

Guard, safeguard, safekeeping, shield, custody, assurance, shelter වැනි තවත් වචන රැසක් සම්බන්ධයෙන් සිංහලෙන් ආරක්ෂාව යෙදේ.

මෙම භාෂාව හා සම්බන්ධ සංකල්පීය ගැටලුව අපේ අනාරක්ෂිත හැඟීම්වලට එක් හේතුවක් විය හැකිය. ඒ සම්බන්ධයෙන් ඔබට තර්ක කළ හැකිය. එහෙත්, ආරක්ෂාව යනුවෙන් සිංහලෙන් යොදන යෙදුමෙහි අර්ථමය විවිධත්වය පිළිබඳ ඉගෙන ගැනීම ඊට වඩා ප්‍රයෝජනවත් විය හැකිය.

අජිත් පැරකුම් ජයසිංහ

praja

Similar Posts