gawaya

ගව අප්පුලා පිරි සුන්දර ගම!

අමුඩයාය ගමට තවත් සුන්දර සතියක් උදා විය.තණ පලසේ නටමින් කිරි කටක් කා පිණුමක් ගසා යළිත් එළදෙන අසලට දුවන ගව කිරි අප්පුලා ගමට කිරි ඉතිරෙන බව කියන්නාහුය.හත්මුතු පරම්පරවෙන්ම උරුම වූ අමුඩයට මුල් තැන ලබා දෙන ගම අප්පුහාමිලාගේ නායකයා අමුඩයාය ගමේ අප්පුහාමි විය.

අප්පුහාමිගේ ඝෝෂ ගෙදර කතාව!

අප්පුහාමිට දූ දරුවෝ දොළොස් දෙනෙකි.ගම්මු ගම ගෙදරට කීවේ ඝෝෂ ගෙදර කියලාය.ළමයින් 12 ක් සිටින නිවස ඝෝෂා නොවන්නේ ද? දන් නම් මේ ගෙදර සිටින්නේ අප්පුහාමි හා බිරිද එතනාහාමි පමණි.මෙවුන්දලාගේ දූ දරුවෝ ගම මෙන්ම රටේ විවිධ පළාත්වල ජීවත්වේ.මේවුන්දලාගේ කතා ඇසුරින් සැකසුන අමුඩයාය ගමේ රස කතා සත්තකින්ම කතාවක් නොව කතා අන්දරයකි.

ගමට ලස්සනයි වස්සන් අඬන කොට!

වැවට ලස්සනයි ඔලු මල් පිපෙන කොට.වෙලට සල්සනයි හී කැට නැගෙන කොට.පතට ලස්සනයි දී කිරි බෙදන කොට.ගමට ලස්සනයි වස්සන් අඬන කොට යැයි,කියමින් ගැට අමුඩයෙන් සැරසී අප්පුහාමි නියර දිගේ හේනට ගමන් කරන්නට විය.

අකමැති ජනපති ගව සතිය නම් කරයි!

ජනපති වරයා මේ සතිය ගව සතියක් ලෙස නම් කර ඇතැයි දිසාපති හාදුරුවෝ පැවසු බව රේඩුවේ හදිසියේම දෙඩු නිසා අප්පුහාමි ගැමි දෙරට ගියේ හූවක් කියා ගම අප්පුහාමිලා සියල්ලෝම දැනුවත් කිරීමෙන් පසුවය.

පුත්තලම් බූරු සංදේශය මෙන්න!

මේ නිසා ගව අප්පුලා මේ සතියේ නිදහසේ කාලය ගත කරනු ඇතිය.මෙහි දී අප්පුහාමිගේ හඳයා කිරි අප්පු ගවයා උම්බෑ කියමින්,වහාම යාය වෙල් යායට එන්නයැයි සියලුම ගව,මී හා එළදෙනුන්ට පනිවිඩයක් යැව්වේ,පුත්තලම් බූරුවකු අතය.

අමුඩයාය ගමේ අප්පුහාමිගේ ගවයා අප්පු ජාතිය අමතයි!

ගව අප්පු මේහිදී ජාතිය ඇමතිමට නියමිතය.මේ නිසා ගව අප්පුගේ කාර්ය මණ්ඩලයයේ,මැක්කෝ,මැස්සෝ,කිනිතුල්ලෝ සියලුම සංවිධාන වැඩ ඉටු කළහ.ගව නායකයාගේ කතාව කිනිතුල්ලා මාධ්‍ය අංශ ප්‍රධානී විසින් සකස් කරනු ලැබුවේ ගව භාෂාවෙනි.නියමිත පරිදි අප්පුහාමිගේ හඳයා කිරි අප්පු ගව නායකයා ජාතිය අමතමින් සිය කතාව ආරම්භ කළේය.

ගව නායකයාගේ කතාව කිනිතුල්ලා මාධ්‍ය අංශ ප්‍රධානී විසින්!

ගම අප්පුහාමිලා එළ,මී ගව අප්පුලා දෙවර්ගයටම අපේ ඇත්තෝ ලෙස සැලකූහ.ගමේ ප්‍රවාහනයට ද වෙළදාම් කරන්නටද ගවයන් යොදා ගන්නවා.තෙරක් නොපෙනෙන කරත්ත පාර දිගේ ඇදෙන කරත්ත පෙළ සුන්දරයි.ගැල් කවියක්ද ඈතින් ඇසේ.ගව සුරතලාට දෙන්නේ කිරිය.ගව අප්පුලාට හා එළදෙන හාමිලාට තණ කොළ,පිඳුරු හා කුනනක්කු සපයන්නට ගම අප්පුහාමිලා කරුණාවන්ත උනා.අපේ ගව ආහාරවල මිල වැඩි කර අප්පුහාමිලා උන්ගේ පැටවුන්ට දෙනවාට අමතරව, මෙවුන්දලාල ද අනුභව කරනවා. මේයට තිත තැබිය යුතුව තිබෙනවා.

පිං ගොනාලා රට හැම තැනම සිටිනවා.!

රට විනාශ කරන්නට ජනතාවගේ චන්දය කා මේ යක්කු සර්ව පක්ෂක ගොන්නු වාගේ හැසිරෙනවා.පවුලේ සමීපතමයන් බඳු වූ ගව අප්පුලාට අප්පුහාමිලා කීවේ,ගව දරුවෝ කියාලා.අප්පුහාමිලා හැම හරක් වැඩක් ම කරලා අපේ නම කියාලා අපිව බාල්ලු කරනවා.

සංවර්ධනය වේගවත් කරන්නට කිති කවනවා!

හරක්ට තලන්නේ කෙවිටෙන්.කූරටියා,කරපිංචා කෙවිටි එව්වට ගන්නවා.නමුත්,රට කාපු හරක්ට තලන්න නම් මඩුවලිගය උවමනා වෙනවා.ඒ කාලයේ ගමේ සිටිය අප්පුහාමිලා ගවයා බැඳි තිරික්කලය වේගවත් කරන්නට,දෙපරැන්දෙන් කෙවිට යවා කිති කවා ගමන ඉක්මන් කළා.දැන් කාලයේ නම් රට පාලනය කරන අප්පුහාමිලාට මහ හරක්ට,කිති නෑ ඒ නිසා ගාණක් නෑ.

රටම ගව ගාලක් එකම මීහරක් වළක්! එක රටයි එළ හරක් නීතියක්!

රටම ගව ගාලක් කරන්නට මා පත් කළ කමිටු නායකයන් මතක් කළ යුතුයි.එළවිස්සා,කළු හඳයා,පුල්ලියා,අංකූරා මේ සඳහා මා පත් කර තියනවා.ගැල් කවි,අඬ හැර රාග ද ඇල්ලුවේ කතා කර වැඩ-පළ ගැනීම මුල් කොටගෙනයි.අද නම් අඩ හැර ලන්නේ දියවන්නාවේ මී හරක් බාප්පලා මේ සම්බන්ධයෙන් ගව හිමිනම් කවුන්සලයට මා ධූතයෙක් අරගල භූමිය හරහා මා හිතවත් පුත්තලම් බූරුවා මහතා යොදවන්නට කටයුතු කර තියනවා.

පරණ ගව පට්ටියට අලුත් ගොපල්ලෙක් !

ගව රැළක නායක ගවයා ඇඳේට යන විට සෙසු ගවයන්ද ඇදේට යන්නාක් මෙන් රටක පාලකයා දැහැමි නොවූ කල ජනතාවද නොමඟ යනවා.දැන් ගව ගාල සකස් කර ගවයෝ එහි ලගිනවාය.ගව ගාල සුන්දරය.නම් ගම් වෙනස් වුවද පරණ ගවයෝම විවිධ නම් වලින් විවිධ පාටින් පට්ටියේ ඒ මේ අත සරණා අයුරු දැකිය හැකියි.රංචුව පට්ටිය ඒ සියල්ලම එසේ වුවද වෙනසක් මා ඇති කළා.ගොපල්ලා මා වෙනස් කළා.ගව පට්ටියේ ගවයෝ ගාල කඩාගෙන ඒ මේ අත යමින් උම්බෑ කියනවා මිස වෙනත් කටයුත්තක් සිදු කරන සෙයක් නම් දකිය නොහැකියි.තව දුරටත් උමිබෑ කියනවා නම් මට සතුටුයි.

රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට රටපුරා ගව කණු සිටුවයි!

ගවයන් බඳින කණුව ගව කණුව යි.සෑම ගමකටම සිරිකොත හරහා මැද මුලන වලව්වේ උපදෙස් මත ගවයන් බඳින කණු සිටවන්නට කටයුතු කරනවා.(සභාවේ සත්පොලසන් හඩ)

මා හිතවත් ගව මිතුරණි!තොපි හණ ගහනවා!

මේ රටේ පාලකයන් සිදු කරන වැඩ දකින විට රටේ අප්පුහාමිලා කියන්නේ,තෝ ගොනෙක් නොව ගොන් බඳින කණුවක් කියා ය.ඒ නිසා ගොනා නොවෙයි තොපි හණ ගහන්න උවමනායි කියලා තමයි කියන්න තියෙන්නේ.

අමුඩයාය ගමේ මුලන වලව්වේ ගවවෙද රාල අප්පු මෙන්න!

හරකුන්ට හැදෙන ලෙඩ-දුක් රෝගවලටම වෙදකම් කරන ගව වෙදරාල මැද මුලන වලව්වේ සිට මට නිතරම උපදෙස් දෙනවා.සාටක,කපුටා,මයිනා සංවර්ධන සැලැස්ම සර්ව භක්ෂක ආණ්ඩුව යටතේ ජනගත කර සිරිකොත ගමට නම් වු ගම සමඟ කතාව යළිත් ආරම්භ කරන්නට මා පියවර ගන්නවා.අප්පුහාමිලාට තවදුරටත් අමුඩ ගස්සනවා.ඒ අනුව,රටේ දිගම අමුඩය ගසන්නට මා පියවර ගන්නවා.

හරක් මී හරක්ට දෙවිවරු අප්පුහාමිලාට සිටුවරු!සැමට ගව සරණයි!

අමුඩයාය ගමේ ගවයන්ට අදාළ දෙවිවරු රැසක් සිටිනවා.ගොපළු දේවතාවා,වරමන්ද, පොල්ල අතගත් ඉලන්ධාරි දෙවියා,මංගල ආදි දෙවිවරු ගමේ රටේ ගවයන්ට නායකත්වය රැකවරණය ලබා දෙනවා. රාපක්ෂ,බැසිල්,නාමල්,මෛත්‍රී,පංචායුධ,ලපයා,පුතාණෝ ආදි නවක දෙවිවරු සරණ යන අප්පුහාමිලා කියන්න තියෙන්නේ, ගව සරණයි කියලාය.

අප්පුහාමිලාට අං තට්ටු ලබා දෙයි ! රට පුරා මඩ යායවල් හදයි!

මී හරකා අප්පුලාද මා මතක් කරන්නට කැමැතියි.එවුන්දලා මඩේ ලගින්න‍ට කැමතියි.ඒ නිසා ගමින් ගමට මඩ යායවල් ඇති කරන්නට මම කැබිනට් එකට ධවල පත්ත්‍රිකාවක් ගොම කර තියනවා.මී හරකා කිසිදු දිනක ඌ වගා කරන්නේ නැත.මඩ කරනවා පමණි.මේකාට අං දෙකක් නොව අං තට්ටුවක්ම පළදින්න්ට මා අවසර දෙනවා.

එළ හරකා,මී හරකා ගවරා ආර්ථික ප්‍රතිපත්තිය!

දැන් පවතින එළ හරකා,මී හරකා ගවරා ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට මේ තත්ත්වයට පත්ව තිබෙනවා.රට කළ අම්බරු නායකයෝ රටම කෑවා.ජනතානට අද පුනක්කු කන තත්ත්වයට පත්ව සිටිනවා.හැම භාණ්ඩයකම මිල වැඩියි.නමුත් මම තීරණය කළා පිදුරු මිල අඩු කරන්නට මා ගැසට් පතක් නිකතුත් කරනවා.

ජනතාවට උත්තර දෙන පොල් පිති හරක් ජනතාව නිරුත්තර වෙයි!

මා හිතවත් පොල්පිති හරක් අප්පුහාමිලා අප සමඟ අපට කට උත්තර නැතිව සිටින විට උත්තර දෙන්නට සැදි පැහැදී සිටිනවා.මට ඒ ගැන සතුටුයි.අප්පුහාමිලාගේ කරත්තේ බඳින හරකා හා නිදැල්ලේ සිටින හරක් ගැන මා කතා කරන්නට කැමැතියි.කරත්ත ගොනාට නිදහසක් නෑ.නිදහස් ගොනාට නිදහස තියනවා.ගොනා තමයි කරත්තේ බදින්නේ.හරකා තමයි කුඹුරු හාන්නේ කියලා කියන්න කැමැතියි.අප්පහාමිලා හාපු හෑල්ලට තවත් අපට හාන්න දෙයක් ඉතිරිවෙලා නෑ. පැනලා ගිය එකාත් හානවා අලුත් පත් කළ අමු වෙල් ගවයා ද හානවා.

හරක් කටා ගොන් කතා රස කතා මැති ඇමති ගොන් කතා!කම්මුතුයි!

පාලකයෝ මී හරක් කතා,ගොන් කතා,ගොන් වැඩ,ගොන් කං,ගොන් තර්ක,ආතල් ගොන් කතා,මුන් කියන ගොන් කතා,උන් කියන ගොන් කතා,ගොන් වස්සෝ,සිල්ලර ගොන් කතා,ගොන් ජෝක්,රට කළ,රට කරවන හා රට කරවන්නට සිතා සිටින පාලකයෝ කියා තියනවා.මේවා ඉදිරියේ දී ගොන් කපා කතා පමණක් ඉතිරි කරන්නට මා පියවර ගන්නවා.

තන කිරි ගන්නට රට පුරා තණ පිටි හදයි!

අපි රජයෙන් ඉල්ලන්නේ තණ පිටි විතරයි.ඇයි ඒවා අප්පුහාමිලා දැනට කන නිසාය.මේවා මීහරක් වැඩ තමයි ඉතිං.රට සංවර්ධනය කරන්නට අප්පුහාමිලාට දැන් මී හරක් ගිනියම හැදිලාය.නිතර අනුවණ වැඩ අප්පුහාමිලා කරනවා ය.ඌ නම් මීහරකෙක් යැයි මා කියන්නේ නෑ.

එළ හරකා මී හරකා විදෙස් ප්‍රතිපත්තිය මෙන්න!

අප්පුහාමිලා වැඩ කරන අන්දම මට හිතා ගන්න බෑ.එව්වා එළ හරකයි මී හරකයි වගේ.අමුඩ අප්පුහාමිලාගේ රටත් හරියටම,මී හරක් ලඟින වළක් වාගේ ය.රටේම ගව අප්පුලා අයිති ගම්බාරේලාට දැන් අන්දරේලා වාගේ වැඩ කරනවාය.රටේ අප්පුහාමිලා කරන ගොන් වැඩ නිසා ලොව රටවල් අපි දෙස බලා හිනා වෙනවාය.

සැමට ගව සරණයි!

සැමට ගොම සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන කාලයක් උදා වේවා! සැමට ගව සරණයි! අප්පුහාමිගේ හඳයා හරක් අප්පු කතාව හමාර කළේ උම්බෑ කියා ය.

අමුඩයාය ගමේ සිට ලියන අප්පු ලියන තවත් කතා අන්දරයකින් ලබන සතියේ හමු වෙමු ද උම්බෑ……උම්බෑ…උම්බෑ..මට බෑ ..රටටම බෑ….

ලියන අප්පු – නිමල් අල්ගෙවත්ත

Similar Posts