types of law what is the full meaning of law importance of law laws list what is law in criminology nature of law

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැඹුරු හා සංකීර්ණ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් රටට ඉදිරිපත් කර තිබේ.

අරමුණු පහක් ඉලක්ක කරමින් සකස්කර ඇති මෙම යෝජනා අතරට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසිකරමින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් වහා ගෙන ඒම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය පත්කිරීම ද ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත් කිරීම, විධායක ජානධිපති ක්‍රමය මාස 15ක් ඉක්ම යාමට පෙර අහෝසි කිරීම, ඇමතිවරුන් 15දෙනෙකුගෙන් සමන්විත ජාතික සමගි අන්තර්කාලීන ආණ්ඩුවක් මාස 18 ක කාලයක් සදහා වහා පිහිටුවීම, ඒම අමාත්‍යශ සමග සමාන්තරව කටයුතු කිරීම සදහා වෘත්තිකයන් 15දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත්කිරීම වැනි යෝජනා ඒ අතර වේ.

නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරළ ඒම යෝජනා 13 පහත දැක්වේ.

යෝජනා:

1. සියලු ක්‍රියාකාරකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අදාළ නීතිමය විධිවිධානවලට අනුකූල හා විනිවිදභාවයෙන් යුක්ත විය යුතුය. නිර්දේශ කරනු ලබන සංක්‍රාමීය විධිවිධාන ශුද්ධ වශයෙන්ම තත්වයේ අවශ්‍යතාව වෙනුවෙන් සිදුකරනු ලබන්නක් වන අතර පූර්වාදර්ශ ලෙස භාවිතා නොකළ යුතුය.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 21වන සංශෝධනය ආණ්ඩුව විසින් වහා ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරයි. එමගින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කරමින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත කළ යුතුය. එසේ කිරීමෙහිදී වර්තමාන අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව එසේම පැවතිය යුතුය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන නැවත ස්ථාපිත කිරීමත් සමගම අනුෂංගික ව්‍යවස්ථාදායක සභා සහ, ස්වාධීන කොමිෂන් සභා ද නැවත ස්ථාපිත විය යුතුය.

3. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධානවලට අමතරව, 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් පහත දැක්වෙන නියමයන් ද සිදුකළ යුතුය.

අ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය පත්කිරීම ද ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව සිදුකළ යුතුය.
ආ) අමාත්‍යාංශ ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් පත්කිරීම අගමැතිවරයාගේ සහ කැබිනට් ඇමතිවරුන්ගේ උපදෙස් මත කළ යුතුය.
ඇ) ජනාධිපති සමාව ලබාදිය යුත්තේ නීති මගින් පිහිටුවන ලද, ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ව්‍යූහයක නිර්දේශ පරිදිය.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය බලාත්මක කිරීමන් පසු සියලු ලේකම්වරුන් හා සියලු ස්වාධීන කොමිෂන් සභා නැවත පත්කළ යුතුය.

5. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හැකි තරම් ඉක්මණින්, මාස 15ක් ඉක්ම යාමට පෙර, සිදුකළ යුතුය. ඒ සඳහා වන සංශෝධනය 2022 නොවැම්බර් 30දාට පෙර සිදුකළ යුතුය. එමගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන දිනය නියම කළ යුතුය. විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තු පාලනයක් ඔස්සේ ප්‍රතිස්ථාපනය කළ යුතුය. අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නායකයා ලෙසත්, කැබිනට් ඇමතිවරුනුත් පාර්ලිමේන්තුවට වගවිය යුතුය.

6. ඇමතිවරුන් 15දෙනෙකුගෙන් සමන්විත ජාතික සමගි අන්තර්කාලීන ආණ්ඩුවක් වහා පිහිටුවිය යුතුය. එහි අගමැතිවරයා ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ අතර සම්මුතියක් නිර්මාණය කිරීමට සමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු අතර මෙම නිර්ණායකය සපිරිය හැකි මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ නොමැති නම්, වර්තමානයේ පාර්ලිමේන්තුවේ නොමැති පුද්ගලයකු අගමැති ලෙස පත්කිරීම සඳහා බහුපාර්ශ්වීය සම්මුතියක් තිබේ නම්,හදිසි අවශ්‍යතාව මත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී, අදාළ පුද්ගලයාගේ නම ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මුල් ජාතික ලැයිස්තුවල සඳහන් වී නැතත්, එම පුද්ගලයාට ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාව ලබාදිය යුතුය.

7. අන්තර්කාලීන රජයක් වෙනුවෙන්, සියලු අදාළ වෘත්තික/ වෘත්තීය සමිති/ සිවිල් සමාජ සංවිධානවල උපදෙස් මත, අමාත්‍යාංශ 15 සමග සමාන්තර හෝ ජාතික ආර්ථිකයට අදාළ, සුදුසුකම් සහිත වෘත්තිකයන් 15දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත්කළ යුතුය. ආණ්ඩුවේ සියලු ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ උපදේශක සභාව හරහා කැබිනට් අනුමැතිය සඳහා යොමුකළ යුතුය.

8. අංක 2222/53 හා 2021 ජනවාරි 29 දින දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව පත්කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු අත්හිටුවිය යුතුය. 2015 ජනවාරි 8 සහ 2019 නොවැම්බර් දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා අංක 2157/44 හා 2020 ජනවාරි 9 දින දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතුය.

9. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්පාදනය කරන ලද පරිදි ජනාධිපතිවරයා කිසිදු ඇමති තනතුරක් නොදැරිය යුතුය.

10. ජාතික සමගි කැබිනට් මණ්ඩලය විසින් උපදේශක සභාවේ උපදෙස් පරිදි පොදු අවම වැඩසටහනක් සම්පාදනය කළ යුතුය. පොදු අවම වැඩසටහන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු අතර එය ක්‍රියාත්මක කිරීම ජාතික සමගි ඇමති මණ්ඩලයේ වගකීම විය යුතුය. පොදු අවම වැඩසටහන විසින් මෙම වකවානුවේ වැඩියෙන්ම අවදානමට ලක්වන පිරිස් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතුය.
පොදු අවම වැඩසටහන විසින් අවධානය යොමුකළ යුතු කාරණා අතර පහත දැක්වෙන කාරණා ද වේ:

අ) ණය ප්‍රතිව්‍යූහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් සාකච්ඡා කිරීම සහ එම වැඩසටහන ආරම්භ වනතෙක් ද්විපාර්ශ්වීය හවුල්කරුවන් වෙතින් සම්බන්ධක මූල්‍ය පහසුකම් ලබාගැනීම
ආ) අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය වහා විසඳීම
ඇ) රාජ්‍ය දේපල අයිතිය බැහැර කිරීම හෝ පෞද්ගලීකරණය විනිවිද පෙනෙනසුලු ආකාරයෙන් සිදුකිරීම
ඈ) නීතියේ පාලනය නඟාසිටුවීම සහ රාජ්‍ය ක්‍රියාකරුවන් විසින් ජනතාවගේ හිමිකම් හා නිදහස ඉහළට ඔසවා තබන බව හා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය කිසිදු ආකාරයකින් යටපත් නොකරන බව සහතික කිරීම
ඉ) අපරාධ විමර්ශන සම්බන්ධයෙන් නීති බලාත්මක කිරීම, රාජ්‍ය සම්පත් ආපසු ලබාගැනීම, දේශපාලන පක්ෂ හා ක්‍රියාමාලා වැය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම සහ වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීම සම්බන්ධ නීතියේ අවශ්‍ය සංශෝධන සිදුකිරීම
ඊ) ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනතාව ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය නීතියට අවශ්‍ය සංශෝධන සිදුකිරීම හෝ නව නීති පැණවීම
උ) ද්විපාර්ශ්වික සහායෙන් හා වෘත්තික සංවිධානවල සහ වෙළඳ සංගම්වල දායකත්වයෙන් ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම හා ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම
ඌ) පාර්ලිමේන්තු උපදේශක කාරක සභා ශක්තිමත් කිරීම සහ වෘත්තික සංවිධාන හා වෙළඳ සංගම්වලට එවැනි රැස්වීම්වලට සහභාගී වීමට ආරාධනා කිරීම
එ) මැතිවරණ (විශේෂයෙන්ම, කල් දමා තිබෙන මැතිවරණ) කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු සංශෝධන සම්පූර්ණ කිරීම, පිරිවැය අවම කරමින් ඵලදායී ලෙස එම මැතිවරණ පැවැත්වීම සඳහා (එනම්, එක් දිනක් තුළදී) ක්‍රම සම්පාදනය කිරීම සහ ජනාධිපති හෝ පාර්ලිමේන්තු මැතිවරණ හැර අනෙකුත් මැතිවරණ පැවැත්වීම සඳහා කාල රාමුවක් සකස්කරගැනීම‍
ඒ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා සලකාබැලීම හා එම නීතිය සංශෝධනය කිරීම

11. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පොදු අවම වැඩසටහනට ඇතුළත් විය යුතුය.

12. අන්තර්කාලීන ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය පොදු අවම වැඩසටහන මත පදනම් විය යුතුය.

13. ජාතික එක්සත් ආණ්ඩුව මාස දහඅටක (18) කාලයක් බලපැවැත්වෙන අතර මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් තවත් මාස හයක කාලයක් තුළ භාරකාර රජයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. මාසදහඅටක (18) කාලය අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන අතර සති හයකට පසුව මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇත. මහ මැතිවරණය අවසන් වීමත් සමගම ජාතික සමගි රජය ක්‍රියාත්මක වීම අවසන් වේ.

Similar Posts