කච්චතිව් හි ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ජස්ටින්ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත්ව පැවැත්වේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, මෙහි සංවිධාන කටයුතු සිදු කරයි.

මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුනට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද නාවික හමුදාව මේ වන විට කඩිනමින් සිදුකරයි.

බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව සිදු කරයි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා ඉන්දියානු හා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයන්, බැතිමතුන්, දෙස් විදෙස් මාධ්‍යවේදීන් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ නාවික හමුදාවේ අධීක්ෂණයෙන් ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කර ඇතැයි නාවික හමුදාව කියයි.

Similar Posts