ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

රට තුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

තිස් වසරක යුද්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් රට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත්, එම අඳුරු යුගය නිමා කර යළි ගොඩනැඟෙමින් සිටින රටකට යළිත් ජාතිවාදී ගැටුම් අවශ්‍ය නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කර සිටියේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් කොළඹ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා මෙසේද පැවසීය:

රටේ විවිධ කරුණු සම්බන්ධයෙන් අද ඇතැම් දේශපාලන කණ්ඩායම් සහ වෘත්තීය සමිති විසින් තම දේශපාලන අරමුණු ඉටු කර ගැනිම උදෙසා විවිධ මැදිහත්වීම් සිදුකරමින් සිටිනවා.

චැනල් 4 සිදුවීමට අදාළ මැදිහත් වීමක් පාර්ලිමේන්තුව තුළත් සිදුවෙමින් පවතිනවා. ඇතැම් දේශපාලන කණ්ඩායම් මේ පිළිබඳ විවිධ අදහස් දක්වනවා. චැනල් 4 සිදුවීමට අදාළව නිසි පරීක්ෂණයක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් නැහැ කියන චෝදනාවකුත් එල්ල වී තිබෙනවා.

එය පිළිගත හැකි කරුණක් නොවෙයි. චැනල් 4 සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී අද වන විට විශ්‍රාමික විනිසුරුවරයකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. එයට අදාළව ගත යුතු තීන්දු තීරණ එම කමිටුව විසින් ගනු ලබනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂයත් මේ සඳහා තේරීම් කාරක සභාවක් ඉල්ලා තිබුණා.

ඕනෑම අයෙකුට මෙහිදී තම නිදහස් අදහස් ඉදිරිපත් කළ හැකියි. නමුත් මේ පිළිබඳ තොරතුරු සමාජගත කිරීමේදී සියලුදෙනා සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. කිසිවෙකු මේ පිළිබඳ පරීක්ෂණයක් එපා කියා නැහැ.

ආරක්ෂක අමාත්‍යාංශයත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. එවැනි තත්ත්වයක් තුළ විපක්ෂයේ කණ්ඩායම් මේ සම්බන්ධව අසත්‍ය ප්‍රචාර ගෙන යනවා.

පාස්කු ප්‍රහාරය නිසා රටට විශාල විනාශයක් සිදු වුණා. මෙය සිදු කළේ කවුරුන්ද යන්න සොයා බැලිම රටක් ලෙස වැදගත් වෙනවා. ඒ වගේම මෙවැනි සිදුවීම් යළි සිදුවීම වළක්වා ගැනීමට පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. පාස්කු සිද්ධියට අදාළව පසුගිය කාලයේදීත් විවිධ මැදිහත් වීම් සිදුවුණා. ජාත්‍යන්තර පරීක්ෂණ, ජනාධිපති කොමිෂන් සභාවක් පවා පත් කර තිබුණා. මේ සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කිරීමේ වැරැද්දක් දකින්නට නැහැ.

ඒ වගේම ඇතැම් කණ්ඩායම් තම දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමට රට තුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කරන්න උත්සාහ කරනවා. කුරුන්දි විහාරය, තිලීපන් සැමරුම් වැනි සිදුවීම් මෙහි පිටුපස තිබෙනවා.

මෙවැනි සිදුවීම් සමඟ ජන කොටස් අතර ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරනවා ද යන සැකය අපට වගේම, බාහිර සමාජය තුළත් තිබෙනවා. ඒ නිසා තම දේශපාලන අරමුණු වෙනුවෙන් රට යළිත් අගාධයට ඇද දමන්න එපා කියා අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

පාස්කු ප්‍රහාරයෙන් මේ රටට දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද බරපතල විනාශයක් සිදු වණා. ඒ වගේම දශක තුනක යුද්ධයෙන් අපේ රට රුධිරයෙන් තෙත් වුණා. මෙම අදුරු මතකයන් අප අමතක නොකළ යුතුයි. ඒ නිසා රටට සුදුසු ලෙස හැසිරෙන්න කියා මම සියලු කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.

අද අප සිටින්නේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රට යළි ගොඩනැගෙමින් තිබෙන අවස්ථාවකයි.

සෞඛ්‍ය කේෂ්ත්‍රය තුළත් විවිධ වෘත්තීය සමිති ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ආර්ථික දුෂ්කරතා හමුවේ වුවද රාජ්‍ය සේවකයන්ට ලබා දිය හැකි සහන ලබාදෙන ලෙස ජනාධිපතිතුමා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව යම් වැටුප් හෝ දීමනා වැඩිවීමක් පිළිබඳ අදහසක් තිබෙනවා.

උද්ඝෝෂණ ක්‍රියාත්මක වීම මේ රටේ සාමාන්‍ය දෙයක්. රජය වැටුප් වැඩි වීමක් හෝ දීමනා වැඩි විමක් සිදු කළහොත් උද්ඝෝෂණ කළ නිසා එය ලබා දුන් බව වැඩ කරන ජනතාවට ඒත්තු ගැන්වීමට ඔවුන් උත්සාහ කරනවා.

රට බංකොලොත් වී තිබෙන මෙම අවස්ථාවේ සියලුදෙනා එකතුවී රට ගොඩනඟන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා වෙනුවට කකුලෙන් ඇඳීම රටට උචිත ක්‍රියාමාර්ග නොවන බව කිවයුතුයි.

එමෙන්ම ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාවට නංවන අවස්ථාවේදීත් සේවක අර්ථ සාධක අරමුදල විනාශවන බවට ඇතැම් වෘත්තීය සමිති බොරු බිල්ලෝ මැව්වා. දවස් පහක් නිවාඩු දුන්නේ EPF එක මංකොල්ලකන්න කියලා කිව්වා.

බොරු බිල්ලෝ මවා ජනතාව පාරට බස්සන්න එපා කියා අපි වෘත්තීය සමිතිවලට කියනවා. ඒවා රටට උචිත නැහැ. විපක්ෂ නායකවරයා අදාළ නොවන, ප්‍රායෝගික නොවන පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා ජනතාව පාරට බස්සන්න උත්සාහ කළා.

මිලියන 22ක් වූ ජනතාවගෙන් 2500ක් පමණයි පාරට ආවේ. මේ රටේ ජනතාව නිහඬව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුමත කරන බව පැහැදිලියි. ඒ නිසා මේ රටේ වත්මන් තත්ත්වය අවබෝධ කරගෙන වගකීමෙන් කටයුතු කරන ලෙස විපක්ෂය ඇතුළු සියලු වෘත්තීය සමිතිවලට මම කියන්න කැමතියි.

හිටපු ආණ්ඩුකාර සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් මහතා:

ඇතැම් වෘත්තීය සමිති ඇතුළු, වෘත්තිකයින් විසින් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටිනවා. බුද්ධි ගලනයක් රට තුළ සිදුවෙමින් පවතින බවත් ප්‍රකාශ වෙනවා. පසුගිය කාලය තුළ වෛද්‍යවරු 842ක් රට හැර ගොස් සිටින බවත් ප්‍රකාශ වුණා.

මෙරට පවත්නා කම්කරු නීතියට අනුව නිවාඩු ලබා සිටින වෛද්‍යවරු 544 දෙනෙකුත් එක් කරගෙන තමයි වෛද්‍යවරු 842ක් රට හැර ගොස් ඇති බව ඔවුන් පවසන්නේ. මෙලෙස කරුණු විකෘති කර ඉදිරිපත් කිරීම තුළින් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ පවතින සැබෑ ප්‍රශ්න යටපත් වෙනවා.

පවතින ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම වෙනුවට නැති ප්‍රශ්න මතු කරමින් සිටිනවා. ප්‍රතිපත්තියක් ලෙස යම්කිසි නිශ්චිත කාර්ය පටිපාටියකට අනුව රජය විසින් රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට අවස්ථාව ලබා දුන්නා. සියලුම රාජ්‍ය සේවකයන්ට රජයෙන් ලබාදුන් වරප්‍රසාදයක් ලෙස එය හැඳින්විය හැකිය.

නිවාඩු ලබා විදෙස්ගත වන වෘත්තිකයන් රට හැර යනවා පැවසීම වැරදියි. විවිධ අසත්‍ය ප්‍රචාර ජනගත කිරීම කාලයක් තිස්සේ සිදුවෙමින් පවතිනවා. මෙරට වෛද්‍යවරු 6000 ක් විදෙස්ගත වී සිටින බව සඳහන් කරනවා. මේ රටේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව නොදැන තමයි ඔවුන් එවැනි ප්‍රකාශ සිදු කරන්නේ.

රටේ සියලුම රෝහල්වල වෛද්‍යවරු 7500 කට වැඩි පිරිසක් සිටිනවා. පුහුණුව සඳහා විදෙස්ගත වන වෛද්‍යවරු යළි මෙරටට නොපැමිණෙන බව ප්‍රකාශ කිරීමත් අසත්‍යයක්. මේ පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා.

එක්සත් සමාජ සංවිධානයේ සභාපති පුලස්ති වන්නිආරච්චි මහතා:

මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. එයට සමගාමීව ජනාධිපතිතුමාගේ ඇමරිකානු සංචාරයේදී ෆේස්බුක් සමාගමේ ගෝලීය සබඳතා පිළිබඳ සභාපතිවරයා හමුවුණා. එහිදී ඉදිරි තාක්ෂණික කටයුතු සම්බන්ධවත් සාකච්ඡා කෙරුණා.

මෙවැනි පනතක් හදිසියේම සම්මත කර ගැනීම පිළිබඳ සමාජයේ කථා බහක ඇති වී තිබෙනවා. මෙහි ධනාත්මක ලක්ෂණ තිබෙන බව කිවයුතුයි. පරිගණක ප්‍රතිචාර හදිසි සංසදයට සමාජජාල සහ අන්තර්ජාල අවභාවිතය සම්බන්ධ වසරකට පැමිණිලි 14000ක් පමණ වාර්තා වෙනවා. පොලිසියට පැමිණිලි 9000ක් පමණ ලැබී තිබෙනවා.

සමාජ ජාල අඩවි විසින් සමාජයීය ප්‍රමිතීන් හඳුන්වා දී තිබෙනවා. නමුත් අපේ රටේ ජනතාව මේ පිළිබඳව කොතරම් දුරට දැනුවත්ද කියන ප්‍රශ්නයකුත් තිබෙනවා.

ඩිජිටල්කරණයට සූදානම් වන අවස්ථාවේ මෙවැනි පනතක් සම්මත කරන විට මීට වඩා කේෂ්ත්‍රයේ විද්වතුන්ගේ අදහස් ලබාගත යුතුයි.විශේෂයෙන්ම වෛරී ප්‍රකාශන, අසත්‍ය ප්‍රවෘත්ති අවම කර ගැනීම තමයි මෙම පනතින් බලාපොරොත්තු වන්නේ. සමාජ ජාලා සහ තාක්ෂණය භාවිතයෙන් රටට වන අහිතකර බලපෑම පිළිබඳ කතිකාවතක් අවශ්‍ය බව කිවයුතුයි.

මෙම අවස්ථාවට සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු තුසිත පෙරේරා, ලක්වනිතා සංවිධානයේ නීති උපදේශිකා නීතිවේදී කෞෂලී සමරතුංග, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික සුප්පයියා ආනන්දකුමාර යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.

Similar Posts