onlinejobbank

දේශපාලනඥයන්ගේ ලිපිවලට රැකියා ලබා දෙන ක්‍රමය අවසන් කර දක්ෂතාවයට අනුව රැකියා අවස්ථාව හිමි වන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

මධ්‍යම පළාතේ ජනතාවට පවතින, ලේඛන සම්බන්ධ නීතිමය ගැටලු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබා දීමේ වැඩසටහන යටතේ, නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ජංගම සේවයට සමගාමීව ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ටී. ෆිල්ඩ් වයිල්ඩ් ෆන්ඩ් ආයතනය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ළමුන් හා තරුණ තරුණියන් අතර සංහිඳියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ වැඩසටහන නානුඔය ඩේස්ෆොඩ් වත්ත වතුයායේදී පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

වතු ආශ්‍රිත ළමුන්, තරුණ තරුණියන් පොදුවේ මුහණ දෙන ගැටලු ඔවුන් විසින් අධිකරණ අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් වෙත ඉදිරිපත් කළ අතර, ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයේ හා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.

වතු ආශ්‍රිත තරුණ තරුණියන්ට පවතින රැකියා ගැටලු, වතු ආශ්‍රිත මාර්ග පද්ධතිය අබලන්ව පැවතීම, අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ ගැටලු, වතු නිවාස ආශ්‍රිත ප්‍රශ්න, වතු නිවාස ආශ්‍රිතව පවතින සනීපාරක්ෂක ගැටලු, භාෂාමය වශයෙන් පවතින ප්‍රශ්න හා පාසල් යාම අතරමඟ නතර කරන ළමුන් මුහුණපාන ගැටලු ආදිය පිළිබඳව එම තරුණ තරුණියන් මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදි.

Similar Posts