හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද(01)ට යෙදී තිබේ.

මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දක්වූ දිනය ලෙසයි.

ලොව බලවත්ම දෙවියා කවු ද යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි , ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් ය.

එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැහැ.

ඒ අනුව ලොව බලවත්ම දෙවියා ශීව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරනු ලබයි.

මහාශිව රාත්‍රි දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

පුද්ගල ජීවිතය මෙන්ම ලෝකය තුළ අන්ධකාරය හා අවිද්‍යාව බිඳ ප්‍රඥාව අවදි කර ගැනීම මහාශිව රාත්‍රි දිනයේදී සමරනු ලබයි. එමෙන්ම සමෘද්ධිය හා සශ්‍රීකත්වයේ අපේක්ෂාව ද මහාශිව රාත්‍රිය හා බැඳී පවතී.

සියලුදෙනා පීඩාවෙන් මුදා ගැනීම යනු මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දිව්‍යමය ප්‍රාර්ථනාවකි. ශිව දෙවියන් වෙනුවෙන් උපවාසයේ යෙදෙමින්, යැදුම් පවත්වමින් හා භාවනායෝගීව සිටිමින් මහාශිව රාත්‍රි දිනයේ අත්කරගත් ආධ්‍යාත්මික ශක්තීන් සමස්ත සමාජයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට ආශිර්වාදය එක් කරනු ඇතැයි යන්න සැමගේ අපේක්ෂාවයි.

ශිව දෙවියන්ගේ මංගල්‍යය සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝකවාසී ජනතාව තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති කරවන අතර අවංක බව, ත්‍යාගශීලී බව සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංගයන් අනුව ජීවත්වීමට ආරාධනා කරයි. මහාශිව රාත්‍රියේ ආධ්‍යාත්මික පණිවුඩය එකිනෙකා අතර සාමූහික බව තවදුරටත් ශක්තිමත් කරනු ලබයි.

ආධ්‍යාත්මික සුවය, සශ්‍රීකත්වය සහ ප්‍රබෝධය සියලු දෙනාගේ යහපත් අභිමතාර්ථ සාධනයට හේතු වන සුබ මහාශිව රාත්‍රි මංගල්‍යයක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

මහ ශීව රාත්‍රි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ, දුකට පත් සිතට ඔබ සතුට අපේක්ෂා කරනවා මෙන් අඳුරෙන් වැසුණු ජිවිතයට අද වැනි දිනක ඔබ ආලෝකය ප්‍රාර්ථනා කළ යුතු බවයි.

මහා ශිව රාත්‍රි දින උපවාසයේ යෙදෙන ශ්‍රී ලාංකික හින්දු භක්තිකයින්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා යැයි අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් එක් කරයි.

ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය , දයාව , සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපුර්ණ මහා ශීර රාත්‍රි දිනයක් උදාවේවායි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පැතුමයි.

සිත නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් ලොව පුරා ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් මෙම දිනය උත්කර්ෂවත් ලෙස සමරන මමත්වය හා අහංකාරය දුරු කිරිමට ඉවහල් වන ප්‍රඥා ආලෝකය පැතිරේවා යැයි ද විපක්ෂනායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් ය.

Similar Posts