ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.

රාජ්‍ය ඇමැතිවරිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිනිය මෙලෙස ද කීවාය.

“කාන්තාවගේ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති රජය ඒ වෙනුවෙන් දිස්ත්‍රික් 10ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද ඉතා වැදගත් උපදෙස් සහ නිර්දේශ ලැබී තිබෙනවා. මේ වන විටත් කාන්තාවන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පැය 24 පුරාවට ක්‍රියාත්මක 1938 දුරකතන අංකය හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම අනන්‍යතාව හෙළි කිරීමකින් තොරව අත් හැර දමා යන දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ‘කවුළුව’ නමින් වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ඉහළ නැංවීම ද ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහා ගනු ලබන පියවරක් ලෙස සනීපාරක්ෂක තුවා බදු අඩු කිරීම වෙනුවෙන් මැදිහත්වීමක් සිදු කිරීමට අප අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ වැඩසටහනක් ද ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතයි. ඒ යටතේ ඉතාමත් වැදගත් පනත් තුනක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභා පනත සහ කාන්තාවන් සවිබලගැන්වීමේ පනත ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.

ගර්භිණී සහ කිරිදෙන මවුවරුන්ට මාස 10කට රුපියල් 45,000ක පෝෂණ දීමනාවක් දීමේ වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මකයි. ඒ අනුව මාස 6කට සහ කිරි දෙන සමයේ මාස 04ක් 10ක් වශයෙන් අදාළ ප්‍රතිලාභය හිමි වෙනවා. මීට අමතරව මේ වර්ෂයේදී පෙර පාසල් ළමයින්ට උදෑසන ආහාර වේලක් දීම වෙනුවෙන් ද වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඉලක්කගත දරුවන් ප්‍රමාණය 155,000ක් වෙනවා.

ඒ වගේම ‘ගුරු අභිමානී’ වැඩපිළිවෙළට අනුව පෙර පාසල් ගුරුවරියන්ට මාසිකව රුපියල් 2500ක දීමනාවක් දීමට ද කටයුතු කර තිබෙනවා. පෝෂණ ඌනතා හඳුනා ගනු ලැබූ මොණරාගල, ගාල්ල, මුලතිව්, අනුරාධපුර, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලට අදාළ පෙර පාසල් ළමයින්ට අධි පෝෂණීය බිස්කට් දීමට අප කටයුතු කරනවා.”

Similar Posts