වාහල්කඩ ජලාශයට ජලය පිරවිමෙන් පසුව වගාබිම් අහිමිවුව හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොවින්ට වන්දි මුදල් ලබාදිම කඩිනමින් ඉටුකර දෙන ලෙස කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදාල අංශයන්ට පසුගියදා උපදෙස් ලබාදිම සිදුකලත් එම කටයුතු කඩිනම් කිරිමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්වරයා කිසිදු උත්සාහයක් නොගන්නා බවට වන්දි අපේක්ෂාවෙන් වසර කිහිපයක් තිස්සේ බලා සිටින ගොවින් පිරිසක් චෝදනා කරති.

වන්දි ප්‍රධානය කිරිම් වලින් විශාල ප්‍රමාණයක් මේවනවිට සිදුවි අවසන්වුවත් තවත් ඉඩම් හිමියන් 30-40 දෙනෙකුට පමණ වන්දි ප්‍රධානය කිරිම ඇනහිට තිබෙන බව ඹවුන් පෙන්වා දුන්හ.හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුහුදිවුල ඇලපත්තෑව මාවතවැව අලියාකඩවල වාහල්කඩ වැනි ප්‍රදේශ කිහිපයක අහිංසක දුප්පත් ගොවින් සිය වන්දිය ලබාදෙනතුරු වසර ගණනාවක් තිස්සේ බලා සිටියත් රාජ්‍ය නිලධාරින්ගේ අක්‍රමිකතාවයන් හේතුවෙන් එම කටයුතු අඩාලව ඇතිබව අනාවරණය විය.

මෙම කටයුතු භාරව සිටි හිටපු කහටගස්දිලිය ප්‍රාදේශිය මහ ලේකම් සුදර්ශන දිසානායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් වන්දි ප්‍රධානය සිදුකල යුත්තන්ගේ ලිපිගොනු සකස් කිරිම ඉතා කඩිනමින් සිදුකර ඇතත් තක්සේරු දෙපාර්තුමේන්තුව හා හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්වරයා මන්දගාමිව කටයුතු සිදුකිරිම නිසා අවසන් වන්දි ප්‍රධානයන් ප්‍රමාදවි ඇති බවට ගොවින් චෝදනා කලහ.

මේ සම්බන්ධයෙන් අදහස් පලකල ඉඩම් අහිමිවු ගොවින් පිරිසක් මෙසේ පැවසුහ.අපි ත්‍රස්තවාදි ප්‍රහාර සමයේ සිට මේ ප්‍රදේශ අත්නොහැර හිටපු නිසා තමයි ත්‍රස්තයන්ට උතුරුමැද පළාතට දරුණු ප්‍රහාර එල්ලකරන්න බැරිවුණේ.වාහල්කඩ ජලාශයට ජලය පිරවිමෙන් පසුව සිය වගාබිම් අහිමිවු කොටසක් වන්දි ලබාගෙන අවසන්.

නමුත් තවත් 35-40 ප්‍රමාණයක් ඉන්නවා වන්දි නැතුව. හොරොව්පොතාන ප්‍රාදේශිය මහ ලේකම්වරයා හමුවෙලා දුක කියන්න ගියාට ඔහු මිනිස්සුන්ගේ දුක අහන නිලධාරියෙක් නෙමෙයි.ඔහු කටයුතු කරන්නේ ඔහුට අවශ්‍ය විදියට.වන්දි අනුමත මිනිස්සුන්ටත් වන්දි දෙන්නෑ කියලා කියලා තියනවා.

බදාදා දිනයේවත් ඔහුව මුනගැහෙන්න බෑ.එදාටත් ඔහු කාර්යාලයේ නිලධාරින් එක්ක සාකච්චා.එතකොට මහජන දිනය දවසේ මහජනයා ප්‍රාදේශිය ලේකම්වරයාව හමුවෙන්නේ කොහොමද?කාර්යාලය ඉදිරිපිට දිගු පොලිම්.ඔහු නිලධාරින් එක්ක සාකච්චා ඉවර වෙනකන් මිනිස්සු පැය තුන හතර පොලිමේ ඉන්න ඕන.කිසිම දෙයක අඩුපාඩුවක් වැරද්දක් හදලා දෙන්නැති නිලධාරි පිරිසකුත් ඉන්නවා ඔය ආයතනයේ.ඒ නිසා තමයි මේ වන්දි කටයුතු ඇනහිටලා තියෙන්නේ.

පසුගියදා කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා වාහල්කඩ නිරික්ෂනයට ආපු වෙලාවෙත් කිවුවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටළු තියන දේවල් කඩිනමින් නිරාකරනය කරලා මිනිස්සුන්ට සහන සලසන්න කියලා.නමුත් වගේ වගක්නෑ ආයතනවල නිලධාරින්ට යනුවෙන් ගොවින් පැවසුහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතාගෙන් දුරකථනයෙන් සිදුකල විමසීමකදි ඒ මහතා මෙසේ පැවසිය.විශාල පිරිසකට වන්දි ප්‍රධානය කරලා තවත් සුළු පිරිසකට තමයි වන්දි දෙන්න තියෙන්නේ.ඒ ලිපිගොනු යම් ප්‍රමාණයක් තක්සේරු දෙපාර් තුමේන්තුවට යොමුකරලා තියෙන්නේ.හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්වරයාගේ අඩුපාඩුවක් තියනව නම් මුන ගැහෙන්න බැරිනම් මගේ දුරකථන අංකයට කථා කරලා ගැටළු ඉදිරිපත් කරන්න කියන්න.මම ඒ පිළිබදව හොයා බලන්නම් යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts