law

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන නාම යෝජනාවල සුපිළිපන්භාවය තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ, පක්ෂග්‍රාහීත්වයෙන් තොරව මෙම නාමයෝජනා ඉදිරිපත් කළ යුතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන සියලුම පත්කිරීම්, මහජන විශ්වාසය ඇතිවන ආකාරයෙන් කළ යුතු බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

එමෙන්ම, නිල බලයෙන් පත් නොවන සාමාජිකයින්ගේ පත්වීම් විනිවිදභාවයෙන් සහ විවෘතව කිරීමට වග බලා ගැනීමත්, පත්කරන නියෝජිතයින් මහජනතාවට පිළිගත හැකි සහ කීර්තියක් සහිත පුද්ගලයින් වීමත් වැදගත් බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම සංගමය පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපනය කිරීමෙන් පසු, ස්වාධීන කොමිෂන් සභාවල සහ අනෙකුත් ආයතනවල සභාපතිවරුන් සහ සාමාජිකයින් නම් කිරීමේ ක්‍රමවේදයද විනිවිදභාවය සහිතව කළ යුතු බවයි.

ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි මහජන විශ්වාසය ඇතිවන අයුරින් ක්‍රියා කළ සභාපතිවරුන් සහ සාමාජිකයින් ඉවත් කිරීම සඳහා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම, නිදහසට කරුණක් ලෙස යොදා නොගන්නා ලෙසට ද නීතීඥ සංගමය පාර්ලිමේන්තුව නියෝජනය කරන පාලක සහ විපක්ෂ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ස්වාධීන ආයතන ඇති කිරීමේ ගැටළුව විසඳීමට 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපොහොසත් වුවහොත්, එය, යෝජිත දූෂණ විරෝධී නීතිය වැනි අනාගත නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහ මෙරට නීතියේ ආධිපත්‍යයට අහිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Similar Posts