අපි එදා කතා කරපු වෘක්ෂායුර්වේදය ගැන දැන් දොස්තරලා හිටිවන බයිලා කියනවා

aurwedaya

දේශීය උරුම උස්මුරුත්තාවෙන් පුරසාරම් කියන සමහර දොස්තර මහතුන් අපිට කියනවා කිරිපිටි වෙනුවට කොළ කැඳ බොන්න ලු. සිසිල් බීම වෙනුවට තැඹිලි බොන්න ලු. මන්දපෝෂණය දුරු කරන්න මුරුංගා වලින් සප්ලිමන්ට් හදන්න ලු. පාන් වෙනුවට වස විසෙන් තොර දේශීය හාලේ බත් කන්න ලු. රසායනික පොහොර වෙනුවට කාබනික ගොවිතැන පුරුදු කරන්න ලු.

පොල්තෙල් ටික සෙක්කු යොදලා ගමේම හිඳ ගන්නලු. මමත් මේ බලා ගෙන ඉන්නේ ඔය කියාගෙන යන හැටියට ඉංග්‍රීසි බේත් වෙනුවට සිංහල බේත් බොන්න කියන්නේ කොයි වෙලාවෙ ද කියල.චැනල් පෝලිම් වල රස්තියාදු නොවී සමහර ලෙඩ වලට ගමේ වෙදමහත්තය ගෙන් බේතක් ගන්න කියන්නේ කොයි වෙලාවෙද කියල.

ෆාමසියට සල්ලි වියදම් නොකර ගෙදරදී අත්බේතක් හදාගෙන ලෙඩේ සනීප කර ගන්න කියන්නේ කොයි වෙලාවෙ ද කියල. හැම ලෙඩේටම ඉස්පිරිතාලෙට දුවන්නේ නැතුව ගමේ ගොඩේ වෙදකමක් කරලා බලන්න කියල කියන්නේ කොයි වෙලාවේ ද කියල. හැබැ‍යි ඒ ටික නම් කියන පාටක් නැහැ.

නමුත් ඇත්තම කිව්වොත් මේ ඔක්කොම කතා පටු දේශපාලන වාසි ගන්න කියන ඒවා. එහෙම නැත්තම් මොකක් හරි හෙළ බෝඩ් එකක් ගහපු බිස්නස් එකක් අතේ තියාගෙන කියන තක්කඩි කතා. කාබනික පොහොර, වස විසෙන් තොර ගොවිතැන, ජෛව ගතික කෘෂිකර්මය වගේ කරුණු ගැන කතා කරන ඉතාම පැරැණි විද්‍යාවක් අපිත් දන්නවා.

ඒ තමයි වෘක්ෂායුර්වේදය. ඒ ගැන අපිත් දැන් සෑහෙන කාලෙක ඉඳල කතා කරනවා.හැබැයි ඒ ශාස්ත්‍රීය පදනමක් ඇතුව මිසක් “හිටිවන බයිලා”විදිහට නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ගේ ආහාර සංස්කෘතිය වෙනස් කරන්න අනූවේ දශකයේ මුල භාගයේ සිටම කරපු සමාජ අරගලයේ කොටස්කරුවෝ අපි.

ඒ සටනේ දොස්තර මහත්වරුත් හිටිය. ඒත් ඒ ගොල්ල ඒ වැඩේට හෘදයාංගම සහයෝගයක් දුන්නා මිසක් මුන්නැහේලා වගේ දෙපිටකාට්ටු වැඩ කළේ නැහැ. අමුතු අමුතු දුම්හට්ටි, කැඳමුට්ටි බිස්නස් කළේ නැහැ. දෙවියන් විකුණගෙන කෑවෙ නැහැ. මිනිස්සු මිථ්‍යාවට තල්ලු කළේ නැහැ. මේ රටේ සැබෑ වෙදකම පාගල ඕඅපපාතික හෙළ වෙද්දු ප්‍රමෝට් කළේ නැහැ.

ආයුර්වේදයට හීන් නූලෙන් පහර ගැහුවේ නැහැ.උනැහෙලා දැනගෙන හරි නොදැන හරි මේ කරන්නේ සැබෑ ආයුර්වේදයේ,දේශීය හෙළ වෙදකමේ බෙල්ල මිරිකීමක්.

ඇත්තටම මේ රටේ සෞඛ්‍යය ගැන කැක්කුමක් තියෙන දොස්තර මහතුන් මුලින්ම කරන්න ඕනේ අපේ සැබෑ වෙදකම එක්ක අත්වැල් බැඳගෙන විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන් විදියේ සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නගන එක. දේශීය වෛද්‍ය ක්‍රමයත් එකතු කරලා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදන එක. මේ රටේ බෙහෙත් වලින් සුවපත් කරන්න පුළුවන් ලෙඩ රෝග මොනවාද කියල හොයන්න බලන්න ඒකාබද්ධ පර්යේෂණ කරන එක.

ඊට පස්සේ රෝහල් පද්ධතිය ඇතුළේ යොමුකිරීම් සේවාවක් පවත්වා ගෙන යන එක. අපේ රටේ සෞඛ්‍ය දර්ශක ඉහළින් තබා ගැනීමේ සියලු ගෞරවය බටහිර වෛද්‍ය ක්‍රමය දිනාගෙන ජයපැන් බොන කොට මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් සිද්ද වෙච්ච මෙලෝ දෙයක් නැහැ කියල හිතෙන විදියට තමයි මේ ඇත්තො හැසිරෙන්නේ.

ජනප්‍රිය වෙන්න සමාජ රැල්ල හදන්න හෙළ යක්කු ෆෝම් කරන්න විතරක් අපේ මුතුන් මිත්තන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු සියයක් පැන්න කියල කියනවා.ඔය කියන විදිහට ඒ වැඩෙන් හෙළ යක්කුන්ට ළකුණු සීයයි.බටහිර වෙදකමේ ආධිපත්‍ය රට පුරා පැතිරෙන තුරු අපේ රටේ ජාතියේ සෞඛ්‍ය පද්ධතිය රැකලා දීපු වෙද රාළලාට ලකුණු බින්දුවයි.අනික ඔය ලියන හෙළ යක්කු වෙදකම් කරපු බවට මොනවද තියන සාක්ෂි .තොවිල් වලදි නම් යක්කු ගෙන්වලා යක් ලෙඩ කියන මනෝ කායික අර්බුද සුවපත් කරනවා; හැබැයි ඒ යකැදුරු මහත්තුරු.

මේ කියන ඔක්කොම කතා ප්‍රායෝගිකව භූමියේ අත්හදා බලන්න කැපවීමක් තියෙන අයට අපි හදවතින්ම ගරු කරනවා. අපේ වෙදකම වෙනුවෙන් පෙනී ඉන්න දොස්තරලගෙන් වැඩි දෙනෙක් අවංකව ඒ වැඩේ කරනවා. ඒත් අයට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ.මේ සමහර දොස්තරලා සැබෑ දේශීය වෙද කමේ හෝඩිය වත් නොකියපු හෙළ යක්කු සෙට් එක කරේ තියාගෙන බිස්නස් කරනවා.

එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න කට්ටඩියෝ දේවාල පුල්ලියෝ හෙළ යක්කු ඔක්කොම ඒ දොස්තරට වඳින්න පටන් ගන්නවා. එතකොට දොස්තර ෆෝම් වෙලා කොරෝනා ලෙඩ්ඩු හඳුනගන්න නාඩි බලන හැටිත් කියල දෙනවා. ඒ පට්ටපල් කෙබර කරේ තියාගෙන නටන හෙළ යක්කු අන්තිමට අමුඩේ ගැලවෙනකන් දන්නෙත් නැහැ.

ඔය ඔක්කොම යූටියුබ් වල කයිය ගැහුවට ඒ කතා විද්‍යාත්මක සැසියක කියන්න තරම් කොන්දක් නැහැ. අපිට ඕනේ රජයට බලපෑම් කරන විදියේ පෞරුෂයක් තියෙන දේශපාලන න්‍යාය පත්‍ර වලින් තොරව අවංකව අපිත් එක්ක වැඩකරන දොස්තර මහත්තුරු.දැනට ඒ අය හිටියත් අපිට ඕනේ ඒ අයගේ ඒකරාශීත්වයක් මට පේන්නේ මේක ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ.

වටේම ඉන්න වියතුන් තමන්ගේ විෂය නොවන බොහෝ දේවල් ගැන බක පඬි කතා කියනවා.පාලි භාෂාවෙන් බක කියන්නේ කොකාට.හැම කතාවකම කොකා බණ කියන්නේ තමන්ගේ වාසියටනෙ.මේ අයත් තමන්ගේ විෂය අමතක කරලා පටු දේශපාලන වාසිතකා අනිත් ඒවාට හොට දානවා.

අන්තිමට ඒ ක්ෂේත්‍රයේ ඉන්න සුදුසුකම් තියෙන උන්ව බාල්දු කරනවා. ඒකෙන් වෙන්නේ දොස්තරලා කියන්නේ මොළේ තියන කණ්ඩායමක් කියන සමාජ සම්මතය කුඩු පට්ටම් වෙන එක. අපේ වෙදකමටත් ඔය ටිකම වෙලා තියෙන්නේ. එහෙන් මෙහෙන් මොනවා හරි කෑලි අහුලගත්ත වියතුන් මේකේ පිනුම් ගහනවා.

කුණ්ඩවාල කාරයෝ වෙද්දු වෙලා බෙහෙත් කියනවා. ඒ වගේ කතා වලට මේ දොස්තරලා අප්පුඩි ගහනව. මේ අය අන්තිමට තමන්ගේ බටහිර දැනුම හා තාක්ෂණයේ ආධිපත්‍යය අහිමි කරගන්න කැමති නැහැ. ජන මාධ්‍ය ඉස්සරහ ඔහොම රැඟුම් පෑවට ගම් වල ඉන්න වෙදමහතුන් ගෙන් බේත් බිව්ව මිනිස්සු ඉස්පිරිතාලෙට ගියාම සිංහල බේත් බිව්වා කියල බැනල එළවන්නේ මේ අයම තමයි.

මේ ටික මේ රටේ ජනතාවට අබබෝධ කරලා දීමත් ලොකු අභියෝගයක් තමයි.

ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….