විවාහක කතුන්ට දරු සම්පත් ලබා දුන් උස්වැලිකන්දේ දෙවියෝ

uswalikanda-god

තරුණ කතුන්ට බැලුම් හෙළන යකුන් සේම දෙවිවරුන් ගැන ද ඉඳහිට අසන්නට ලැබේ. තොට යකා නමින් හැඳින්වෙන යක්ෂයා ද, ඇතැමුන් යක්ෂයින් වශයෙන් හඳුන්වනු ලබන දේවත්වයක් ද පළ කරන අබිමානා සහ කළු කුමාර ආදීහු කතුන්ට බැල්ම හෙළන සෙසු අමනුෂ්‍ය ප්‍රජාව අතරට අයත් වේ. නමුදු තරුණ කාන්තාවන්ගේ විශේෂ ඇල්මට, බැල්මට, ආකර්ෂණයට ලක් වන දෙවියකු පිළිබඳව සිංහල බෞද්ධ දේව නාමාවලියෙන් සොයා ගැනීම තරමක් අසීරු ය.

නමුත් දුරාතීතයේ සිට කාන්තා ආකර්ෂණයට ලක් වූ දෙවියකු පිළිබඳ වැදගත් තොරතුරු රැසක් නාවලපිටියේ විශ්‍රාමික විදුහල්පති එච්.එම්.බී. බණ්ඩාර මහතා විසින් මීට කලකට ඉහත මා වෙත සපයන ලදී.

ඒ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැවේගම ග්‍රාම නිලධාරී වසමට අයත් උස්වැලිකන්ද නම් ග්‍රාමය හා සම්බන්ධ පුරාවෘත්තයක් ලෙස ය. එම ගම්මානයේ නමින්ම උස්වැලිකන්දේ දෙවිඳුන් නමින් හැඳින්වෙන මෙතුමන් අලුත් සුරිඳු නමින් ද හැඳින්වෙන බව ද දැනගත හැක. අප රටේ ජන විඥානය අනුව අලුත් දෙවියන්, අලුත් සුරිඳුන් යනුවෙන් නම් ලබනුයේ බොහෝ විට කිසියම් නිශ්චිත සංසිද්ධියක් මත දේවත්වයට පත් වූ මිනිසුන්ය.

ඒ අනුව කාන්තාවන්ගේ නොමඳ ඇල්මට, බැල්මට, ආකර්ෂණයට ලක් වූ මෙම උස්වැලිකන්දේ අලුත් සුරිඳුන්ගේ යටගියාව සොයා මම පසුගිය කාලයේ විශේෂ විමසුමක යෙදුණෙමි.උඩරට දුම්රිය මාර්ගයේ ගල්බොඩ දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් පිහිටි ගල්බොඩ ඇල්ල ආශ්‍රිත ගල් ලෙනක් මෙම ප්‍රවාදය හා කේන්ද්‍රගත ස්ථානය සේ සැලකෙයි.

අද වන විට උස්වැලි කන්ද හා තදාසන්න ප්‍රදේශ වල පත්තිනි,කාලි යන දේවාල කෝවිල් කිහිපයක් ඇතත් ඒවා මෙම උස්වැලිකන්දේ දෙවි හෙවත් අලුත් සුරිඳුන් ඇදහීම හා කිසිදු සබැඳියාවක් නැත.

1897 වර්ෂයේ ඉංග්‍රීසි ජාතික හියු නෙවිල් නම් පරිපාලන නිලධාරියා විසින් අප රටින් ගෙන යනු ලදුව දැනට බ්‍රිතාන්‍ය රාජකීය පුස්තකාලයේ සංරක්ෂණය කෙරෙන ශ්‍රී ලංකාවේ ජන ඇදහිලි සම්බන්ධ පුස්කොළ පොත් අතරේ උස්වැලිකන්දේ දෙවි සහ අලුත් සුරිඳු යනුවෙන් හැඳින්වෙන කෙටි කවි පන්ති දෙකක් තිබේ.

අලුත් සුරිඳු දෙවියන් පිළිබඳ කවි දෙකක් සහ උස්වැලිකන්දේ සුරිඳුන් පිළිබඳ කවි තුනකින් යුතු එම පද්‍යවලින් මෙම දෙවියන්ගේ අනන්‍යතාව පැහැදිලි කර ගැනීම තරමක් අසීරු ය. එහෙත්, බණ්ඩාර මහතා විසින් හෙළි කරන ලද උස්වැලිකන්දේ දෙවියන්ගේ යටගියාව අනුව එතුමන් කවුරුන් ද යන්න මඳ වශයෙන් හෝ වටහා ගැනීමේ හැකියාවක් අප තුළ ජනිත වෙයි.

උස්වැලිකන්ද යනු කන්ද උඩරට රාජධානි සමයේ රජවාසලට දුලබ ඖෂධීය වන ශාක සැපයූ රජ වාසල සතු ගබඩා ගමකි. රමණීය දිය ඇලි තනමින් ගලා බසින මහවැලි නදියේ අතු ගංගා සහිත ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිත ගලබඩ, දෙකිඳ ආදී ගම්වල ඉතා දුලබ වන ඵල, ඖෂධීය ශාක වැවී තිබූ අතර ඒවා හඳුනා ගැනීම පිණිස වූ වෙද පරපුරක් ද අතීතයේ එම ගම්මානවල ජීවත් වූහ.

උස්වැලිකන්දේ දෙවියන් හා අලුත් සුරිඳුන් ලෙස පසුව දේවත්වයට පත් වන ලද්දේ එහි විසූ තරුණ ජන ප්‍රධානියෙකි. ඔහු එම ගමේ විසූ වංශවතකු බව ද පැවසෙයි.

කොඩි කුඩ සේසත් ගෙන මන නන්දේ

ඉඩ නෑරම යක් සෙන් සිට වැන්දේ

දිඩ බල සුරිඳෙක් මෙලෙස කොයින්දේ

වැඩසිටි රඟ බල උස්වැලිකන්දේ

යනුවෙන් සඳහන් හියු නෙවිල් කාව්‍ය සමුච්චයේ එන උස්වැලිකන්දේ සුරිඳුන්ගේ කවි තුනෙන් එකක් මගින් ද එතුමන්ගේ පෞරුෂය තරමක් ප්‍රකාශ වෙයි.

බණ්ඩාර මහතා විසින් පැවසූ ජනප්‍රවාදයකට අනුව අප රටේ වන ගහනය තුළ කිසිවෙකුටත් සොයා ගත නොහැකි ලෙස සැඟවී ඇති කළුනික නම් ශාකය සොයා දෙන ලෙස රජවාසලෙන් ලැබුණු ආඥාවක් මත එය සොයා දී තාන්න මාන්න ලබා ගැනීමට රිසි වූ මෙම උස්වැලිකන්දේ ජන ප්‍රධානියා රහසේම මහ වන ගැබට පිවිස ඇත.

එහි දී කළුනික වශයෙන් අනුමාන කළ හැකි ශාක වර්ග කිහිපයක් වනයෙන් සොයා ගෙන ආපසු එන අතරේ ඔහු මංමුළා වී ඇත්තේ කළුනික කිසි විටෙකත් මිනිසුන් අතට පත් නොවන නිසා යැයි කියනු ලැබේ.

ඒ අනුව ගමන් වෙහෙසින් පීඩාවට පත් ඔහුට වනයේ ගල් ලෙනක් තුළ නින්ද ගිය බවත් ඉන් පසු එම ගෝනියේ තිබූ කළුනික ශාකයට ඉබේම ගිනි ඇවිළී එය වැලි බවට පත් වූ බවත් කියනු ලැබේ. කලින් උස් කන්ද නමින් හැඳින්වුණු එම ප්‍රදේශය උස්වැලිකන්ද නමින් හැඳින්වෙන ලද්දේ එම සිදුවීමත් නිසා බවට විශ්වාස කෙරේ.

එම ගල්ලෙන වශයෙන් අනුමාන කෙරෙන ගල් ලෙනක් තවමත් ගල්බොඩ ඇල්ල ආශ්‍රිතව දක්නට ලැබේ අතීතයේ උස්වැලිකන්දේ දෙවියන් උදෙසා පුද පිළිවෙත් කළ බව පැවසෙන මෙම ගල් ලෙන හා ඒ අවට අද වන විට මුළුමනින්ම ජන ශූන්‍ය කලාපයක් බවට පත්ව තිබේ.ඒ ඊට පිවිසීමට ඇති විවිධාකාර අපහසුතා නිසාය.

එම උස්වැලිකන්දේ සුරිඳුන් තම පරපුරට අයත් වූවෙකු බවට තම වැඩිහිටියන් අතර ප්‍රචලිත කතාවක් තිබූ බවට බණ්ඩාර මහතා කී කතාව හුදෙක් හිස් බසක්ම නොවන බව වැටහෙන ලද්දේ පැරණි අලුත් සුරිඳු කවිවල තිබූ මෙම කවිය කියැවීමෙනි.

සඳුනුත් පිනිදිය කලතා

කොකුමුත් දලු තිලක ලතා

අගිලුත් දුම්මල කලතා

මෙ අලුත් බණ්ඩර මහතා

අපගේ දේව වංශාවලිය අනුව මෙතුමා බණ්ඩාරව්ලියට අයත් අලුත් දෙවි කෙනකුන් බව පෙනෙන අතර දෙවි කෙනෙකු ‘මහතා’ යනුවෙන් හැඳින්වෙන දුර්ලභ අවස්ථාව මෙම අලුත් සුරිඳුන්ගේ පද්‍ය තුළින් දැකගැනීමට ලැබේ.

මුතු මැණික් ආදී අබරණ පැළඳ සිටින ගව රැලක හිමිකරුවකු වන මෙම දෙවියන් ‘මල් සුවඳට කැමැති’ අනංගයා බඳු අයකු බව සඳහන් වීමෙන් එතුමන් තුළ පවතින නාරි ලෝලිත්වය සහ කාන්තාවන් තුළ එතුමන් කෙරෙහි පවතින ලොල් බව සංකේතාත්මකව නිරූපණය කෙරේ. පී.ඊ.පී. දැරණියගල සූරීන් විසින් 1954, 1955 වසරවල සංස්කරණය කරන ලද හියු නෙවිල්ගේ මානව වංශ විද්‍යාව සංග්‍රහයේ සඳහන් වන අන්දමට මෙම උස්වැලිකන්දේ සුරිඳුන් අතීතයේ අංකෙළිය නම් ජන ක්‍රීඩාවෙන් ද පිදුම් ලබා තිබේ. කන්තාවන්ට රහසින් පිරිමින් පමණක් එක්ව රහසිගත ස්ථානයක එක්ව සිදු කරනු ලබන මෙම අංකෙළිය සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය පතා සිදු කරනු ලබන ලිංගික සංකේතාත්මක අභිචාර විධියකි.

කෙසේ හෝ පෘතුගීසි පාලන සමයේ එම දෙවියන්ගේ දෙවොල බිඳීමට පැමිණි පෘතුගීසි සේනාවකට හිටිහැටියේ මහ පොළොවෙන් මතු වූ කළු දෙබරුන් එළව එළවා පහර දුන් බවත් ජනප්රාවාදවල සඳහන්ය.

එමෙන්ම මෙම උස්වැලිකන්දේ සුරිඳුන් පිළිබඳ තවත් විශේෂත්වයක් වනුයේ එම දෙවියන් සිහිකොට රාත්‍රියේ නින්දට යන විවාහක කතුන් හමුවේ පෙනී සිටින දෙවියන් ඔවුන්ට දරු සම්පත් ලබා ගැනීමට පවා උපකාර වන බවකි. නමුදු එය කළුකුමාරයාගේ මෙන් බලහත්කාරී අයුතු ක්‍රියාවක් නොවන බව ද පැවසෙයි.

මෙරට පාලනය කළ ඉංග්‍රීසීන් විසින් වතු වගාව සඳහා මෙම ප්‍රදේශයේ තිබූ ස්වභාවික වන ගහනය අහිමි කිරීමත් වතු කම්කරු ජනාවාස බිහි වීමත් සමඟ මෙහි පැරණි පාරම්පරික ගැමියන් තදාසන්න ප්‍රදේශ වලට සංක්‍රමණය වීම යනාදී කරුණු මත කතුන්ගේ ආකර්ෂණය දිනා ගත් මෙම උස්වැලිකන්දේ දෙවියන් පිළිබඳ තතු අද වන විට ශීඝ්‍රයෙන් යටපත් වෙමින් තිබේ.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….