දෙමළ වදනක් වත් නොදත් සිංහල දරුවෙක් හිටි හැටියේ දෙමළෙන් කතා කරයි

kuruppuarchchi2

හිටි හැටියේ තමන් නොදන්නා භාෂා වලින් කතා කිරීමට පටන් ගන්නා දරුවන් පිළිබඳව වරින් වර අසන්නට ලැබේ.එලෙස දෙමළ භාෂාව පිළිබඳ කිසිවක් නොදත් දහතුන් හැවිරිදි සිංහල දරුවෙකු එක්වරම දෙමළ බසින් කතා කිරීමට පටන්ගෙන, තමන් යාපනයේ ජීවත් වූ රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව කියා සිටි විස්මය ජනක පුවතක් 2006 සැප්තැම්බර් මාසයේ මෙරට සිංහල, ඉංග්‍රීසි සේම දෙමළ පුවත්පත් වලද සුවිසල් සිරස්තල යටතේ පළ විය.

එවක කටානේ විද්‍යාලෝක විද්‍යාලයේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඔහු එක්වරම දෙමළ දැරියක සේ කතාබස් කිරීම පළමුව සිසුන්ටත් දෙවනුව ගුරුවරුන්ටත් මහත් ප්‍රශ්නයක්ව තිබිණි. ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව කොච්චිකඩේ පොලිසිය වෙත දැනුම්දීමට එම විදුහලේ එවක විදුහල්පතිව සිටි ලක්ෂ්මන් විජේරත්න මහතාට සිදුවිය.

ඒ එම විද්‍යාලයට යාබදව පිහිටි නිවස එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ මහගෙදර වීමත්, මෙසේ ලක්ෂාන් නමින් පෙනී සිටිනුයේ හිටපු අග විනිසුරුවරයා එල්ලකොට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවන ලද “කොටි කෙල්ලක්” බවට රාවයක් ප්‍රදේශයේ පැතිර යාමත් නිසා ය.

ඒ අනුව මූලික ප්‍රශ්න කිරීමක් සඳහා 2006 වසරේ සැප්තැම්බර් 20 දා ලක්ෂාන් මීගමු පොලිසිය වෙත කැඳවනු ලැබිණ සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා තුනෙන් ලිවීමේ හා කතා කිරී‍මේ හැකියාවක් තිබූ එවක කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති හරූන් ඩූල් මහතා ඉදිරියේ ලක්ෂාන් දෙමළ බසින් කළ විස්තරයේ සිංහල පරිවර්තනය මෙලෙසිනි.

‘‘මගේ නම රාමචන්ද්‍රන් රාජි. මම ගෑනු ළමයෙක්. මම ඉගෙනගත්තේ යාපනයේ භද්‍රකාලී කෝවිල ළඟ තියන තිරුප්පුලි විද්‍යාලයේ. මම ඉස්කෝලෙ ගියේ තුනට විතරයි. මගේ තාත්තා ශ්‍රී රාමචන්ද්‍රන් රමේෂ් කුමාර්. අම්මා ශ්‍රී රාමචන්ද්‍රන් රාජී. අපේ ගේ ලොකුයි. ගෙදර අම්මාගේ ෆොටෝ එක එල්ලලා තිබුණු බිත්තිය ඇතුළේ රහස් සේප්පුවක් තිබුණා.

තාත්තා රෑට කට්ටියක් එක්ක ඇවිත් ඒ සේපපුවේ සල්ලි හංගනවා. අයියයි මමයි හොරෙන් බලාගෙන ඉන්නවා. පස්සේ කාලෙක අපේ ගෙදරට බෝම්බයක් වැටිලා අයියයි, තාත්තයි මැරුණා. ඊටපස්සේ අම්මා මාව සින්දු ජා කියලා ඇන්ටි කෙනෙක්ට භාරදීලා රට ගියා. මීට අවුරදු දොළහකට කලින් (1996) බෝම්බයකට අහුවෙලා මාවත් මැරුණා.’’

ලක්ෂාන් විසින් එම ප්‍රකාශය කරන ලද්දේ ද දැරියකගේ ඉරියව් පාමින් වන අතර, ඒ මොහොතේ ඔහුගේ මවද පොලිසියට කැඳවන ලදි. ඒ වනවිට ඔහුගේ මව කොච්චිකඩේ ලොතරැයිපත් ඒජන්සියක ලොතරැයි අලෙවිකරන්නියක ලෙස සේවය කරමින් සිටියා ය.

‘‘කවුද මේ?’’

ලක්ෂාන්ට ඔහුගේ මව පෙන්වූ පොලිස් ස්ථානාධිපතිවරයා දෙමළ බසින් ඇසීය.

‘‘දන්නේ නැහැ, කවුරුහරි නැන්දා කෙනෙක් නේද?’’

ලක්ෂාන් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීය.

‘‘කොහෙන්ද පුතා දෙමළ ඉගෙන ගත්තේ?’’

අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා අසන ලද්දේ ලක්ෂාන්ගේ මවගෙනි.

‘‘මෙයා දෙමළ දන්නේ නෑ සර්, මෙයා දෙමළ ඉගෙනගන්න විදිහක් නෑ.’’

ලක්ෂාන්ගේ මවගේ පිළිතුර එය විය. ඒ අනුව පළමුව ලක්ෂාන් ලිංගික සංක්‍රාන්තිමය තත්ත්වයකට පත්වෙමින් තිබේද? යන්න විමසීම පිණිස ඔහු මීගමුව රෝහල වෙත යොමු කරන ලදුව, කායික වශයෙන් එබඳු කිසිඳු විපර්යාසයක් සිදුවී හෝ සිදුවෙමින් නොමැති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු විය.

එසේ නම් ඔහු කිසියම් මානසික විෂමතාවකින් පෙළෙන්නේ ද යන්න පිළිබඳ මනෝ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා 2006 සැප්තැම්බර් 29 දා ලක්ෂාන් රාගම රෝහලට ඇතුළත් කරන ලදි.

එම පරීක්ෂණය භාර තිබුණේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් මනෝ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙකු වන කේ.එල්.එල්.ඒ. කුරුප්පුආරච්චි මහතාට ය. නමුදු ලක්ෂාන් කිසියම් මනෝ ව්‍යාධියකින් පෙළුණ ද ඔහු හිටිහැටියේ තමන් නොදන්නා භාෂාවක් කතා කරන ලද්දේ කෙසේද?

කිසිසේත් ඇදැහිය නොහැකි එම අරුමය කුමක්දැයි සිතාගත නොහැකි බැවින් මම ද ඊට පසු දින එනම් 2006 වසරේ සැප්තැම්බර් 30 වනදා ලක්ෂාන් රඳවා සිටි රාගම මහ රෝහලේ 28 වාට්ටුවට ගියෙමි. නමුදු ඒ වනවිට ලක්ෂාන් මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනය වන අංගොඩ මානසික රෝහලට මාරුකොට යවා තිබිණි.

‘‘ඒක රෝහල් අධ්‍යක්ෂගේ තීරණයක්. සමහරවිට මේ ළමයා සම්බන්ධයෙන් පැතිරීගෙන යන කතා ළමයාගේ ආරක්ෂාවට තර්ජනයක් නිසා අධ්‍යක්ෂ එහෙම කළා වෙන්න පුළුවන්.’’

එහිදී මහාචාර්ය කුරුප්පුආරච්චි මා හා කීය. ඒ අනුව මම නැවත ලක්ෂාන් ඉගෙනුම ලබමින් සිටි කටානේ විද්‍යාලෝක විද්‍යාලයට යාබදව පිහිටි සිරිවර්ධනාරාමයට ගොස් එහි විහාරාධිපති පූජ්‍ය කරඹේ සුමන හිමියන් හමුවීමි. ඊටද හේතු දෙකක් තිබිණි. ඒ පසුගිය කාලයේ ලක්ෂාන් සවස් කාලයට අසල්වැසි සම වයසේ දරුවන් හා එම විහාරයට පැමිණ තිබීමත්, පූජ්‍ය සුමන හිමියන් එවක කටාන විද්‍යාලෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පදවිය හෙබවීමත්ය.

‘‘ඔය ළමයා අනිත් ළමයි අතේ මටත් කියලා එව්වා එයා ගෑනු ළමයෙක් කියලා. ඒත් මම හිනාවෙලා කිව්වා, තමුසේ කොහොමද ගෑනු ළමයෙක් වෙන්නේ, තමුසෙගේ රැවුලත් එන්නනේ හදන්නේ කියලා. කොහොමත් ඔය ළමයගේ තාත්තත් පවුලෙන් අයින්වෙලා. ඔය ළමයයි මල්ලිලා දෙන්නයි ඉන්නේ අම්මයි ආත්තම්මයි එක්ක. බොහොම අසරණ විදියට ජීවත් වෙනවා කියලා මට ආරංචි වුණා. කොහොමත් ඔය ළමයා ගැන අපි කවුරුත් හොයා බලන්න ඕනේ කියන තැන තමයි මාත් ඉන්නේ.’’

ඒ හිමියෝ කීහ.”මම ඒ ළමයා ගැන මූලික සායනික පරීක්ෂණ පටන් ගන්න අතරේ තමයි එයාව අංගොඩට මාරු කළේ.මට මුලින්ම ඒ ළමයා කතා කරන භාෂාව ගැන දැන ගන්න මට උවමනා වුණා නමුත් අපේ දෙමළ වෛද්‍ය ශිෂ්‍යයො නම් කියන්නේ එයා කියන දේවල් බාගෙට බාගයක් තේරෙන්නේ නෑ සමහර විට එයා කතා කරන්නේ”ක්ලැසිකල් ටැමිල්”ද දන්නේ නෑ කියලා”ලක්ෂාන් හිටි හැටියේ දෙමළ බස කතා කිරීමට හේතුව ඒ වන විට අනාවරණය කරගෙන නොතිබූ මහාචාර්යකුරුප්පුආරච්චි කීය.

එහෙත් දෙමළ අකුරක්වත් නොදන්නා ලක්ෂාන් හිටිහැටියේ චතුර ලෙස දෙමළ බසින් කතා කරන්නට වූයේ කෙසේද? එය මනෝ වෛද්‍ය විද්‍යාත්මකව විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. එබැවින් මම නැවත කොච්චිකඩේදී ලක්ෂාන්ගේ මව හමුවී ඔහුගේ යටගියාව පිළිබඳ වැඩිදුර විමසන්නට පටන් ගතිමි.

‘‘ඉස්සර අපි හිටියේ වයික්කාලේ තඹරවිල. දරුවා ගියේ එහේ ඉස්කෝලෙට. නමුත් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නොතිබුණු හින්දා මමයි, මගේ අම්මයි, ඔය දරුවෝ තුන්දෙනයි එක්ක පහුගිය ජූලි මාසේ මෙහේ ගෙයක් කුලියට ගත්තා. මේ දරුවන්ගේ තාත්තා අපි ගැන වැඩිය හොයාබැලීමක් නැහැ.’’

ලක්ෂාන්ගේ මව වැඩිදුරටත් කී අන්දමට ලක්ෂාන් ඉපදී ඇත්තේ 1992 දෙසැම්බර් අට වනදා ය. එවිට තමන්ගේ වයස අවුරුදු විසි තුනක් වූ අතර තම සැමියා දහ අට හැවිරිදි වූ බව ද ඇය කීවාය.

අනතුරුව දෙමළ අකුරක්වත් නොදත් ලක්ෂාන් හිටිහැටියේ දෙමළ බසින් කතා කිරීමේ අරුම පුදුමය වටහාගැනීම පිණිස වයික්කාලේ තඹරවිලට ගොස් එහිදී ලක්ෂාන් ඇසුරු කළ සම වයසේ පාසල් මිතුරන් කිහිප දෙනෙකු හමුවීමට ද මට සිදුවිය. ඒ මිතුරන්ගෙන් කිහිපදෙනෙකුම දෙමළ දරුවන් වූ අතර, ඔවුහු මන්නාරම, වව්නියාව ආදී ප්‍රදේශවලින් උළු කර්මාන්තය හා සම්බන්ධ රැකියාවන් සඳහා වයික්කාලේ තඹරවිලට සංක්‍රමණය වූ දෙමාපියන් සමග පැමිණි දරුවෝ වූහ.

‘‘මෙහේ දෙමළ ඉස්කෝල නැති හින්දා සිංහල ඉස්කෝලෙට ගියත් අපි කතා කරගන්නේ දෙමළෙන්. ලක්ෂානුත් හරිම ඉක්මනට දෙමළ ඉගෙනගත්තා. පස්සේ එයා අපි එක්කත් දෙමළෙන් කතා කරන්න පටන්ගත්තා.’’

වයික්කාලේ, තඹරවිල ජීවත් වූ ලක්ෂාන්ගේ පැරණි පාසල් මිතුරෝ කීහ. කෙසේ හෝ කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට යැයි කියමින් අංගොඩ රෝහලේ බරපතළ සයිකෝසීය මානසික රෝගීන් ද සිටින හයේ වාට්ටුවේ දින තිස්එකක කාලයක් රඳවාගෙන සිටි ලක්ෂාන් නැවත රාගම මහරෝහල වෙත මාරු කරන ලදි. ඒ එම කාලය වනවිට ඔහු අතිශය කලහකාරී ලෙස හැසිරෙන්නට වූ පසුබිමකය.

මිරිදිය මසෙකු කරදියට ගෙනගොස් දැමීමක් වැනි එම ඛේදනීය සංසිද්ධිය එතෙකින් නිමාවට පත්වූ අතර, නැවත රාගම මහරෝහලට ගෙනා ලක්ෂාන් නොදන්නා දෙමළෙන් කතා කිරීමේ මනෝ වෛද්‍ය විද්‍යාත්මක හෝ සායනික නොවූ එම රහස මහාචාර්ය කුරුප්පුආරච්චි වෙත හෙළි කළෙමි.

ඒ අනුව තමන්ට එල්ලවන දැඩි මානසික පීඩනයට දක්වන ප්‍රතිචාරමය තත්ත්වයක් වශයෙන් එයින් අත්මිදීම පිණිස වන අවිඥානික බලපෑමක් වන විඝටනමය අනන්‍යතා ආබාධය (Dissociative identity disorder) නම් මානසික ආබාධය ලක්ෂාන්ට වැළඳී ඇති බව නිගමනය කළ මහාචාර්ය කුරුප්පුආරච්චි සති කිහිපයක් තුළ ලක්ෂාන්ව මුළුමනින් සුවපත් කළේය.

ලක්ෂාන් තමන් මිතුරන්ගෙන් උගත් දෙමළ වචන අතරට බොරු වචන ද එක් කොට නොදන්නා දෙමළක් කතා කරන්නට වූයේ සිය සැබෑ පෞරුෂයෙන් මිදීම පිණිස වන උපවිඥානික පෙළඹවීම නිසාය. මැලේ ජාතිකයකු වූ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති හරූන් ඩූල් මහතා ද ලක්ෂාන්ගේ එම බොරු දෙමළ කොටස් තමන් නොදත් යාපනයේ දෙමළ වශයෙන් ඉවත් කොට දමමින් හෝ ලක්ෂාන් කී දෙය තේරුම් ගැනීමට සමත් වී තිබේ.

එහෙත් “හිටිහැටියේ තමන් නොදත් දෙමළ බසින් කතා කරන්නට වූ සිංහල දරුවෙක්” යන සිරස්තලයෙන් ජනතාවගේ දෙනෙත් නළල් තල වල ඉන්දවෙන පුවත් පළ කළ කිසිදු මාධ්‍ය කරුවකු ලක්ෂාන් ගේ ඇත්ත කතාව ජනතාව හමුවට ඉදිරිපත් කොට ඇති බවක් මම නම් නොදුටිමි.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….