unp

ගිනි අවි ළඟ තබාගත් හලාවත UNP මන්ත්‍රී බන්ධනාගාරයට

ගිනි අවි ළඟ තබා ගැනීමේ සිදුවීමක නඩුවක් සම්බන්ධයෙන් ඇප කොන්දේසි කඩ කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත් වු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතා මේ මස 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහධිකරණය අද (10) නියෝග කර තිබේ.

2004 වර්ෂයේ හලාවතදී නීති විරෝධි රැස්වීමක සාමාජිකයෙකු වෙමින් ගිනි අවි ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත මහධිකරණයේ අංක 16/07 දරණ නඩුවට අදාල එක් සැකකරුවෙකු වන්නේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාය.

මෙම සිද්ධියට අදාලව 2011-03-31  වෙනි දින ඔහුට මහධිකරණයෙන් ඇප ලබා දී ඇති අතර එහි එක් ඇප කොන්දේසියක් වී ඇත්තේ සෑම ඉරු දිනකම පෙරවරු 9.00 -12.00 ත් අතර කාලයේ හලාවත පොලිසියට වාර්තා කිරිමය. නැවතත් එම පාර්ශවයේ ඉල්ලීම මත 2018-05-15 මහධිකරණය විසින් එම ඇප කොන්දේසිය ලිහිල් කර සෑම මාසයකම අවසන් ඉරු දින පොලිසියට වාර්තා කරන ලෙස නියෝග කර ඇත. පසුව මහධිකරණය විසින් වාර්තාවක් කැඳවා ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ මොහු යම් යම් දිනවල එම ඇප කොන්දේසිය උල්ලංඝනය කර ඇති බවය.

ඒ අනුව මෙම නඩුව අද දින මහධිකරණයේ කැඳවු අවස්ථාවේ ඇප කොන්දේසිය උල්ලංඝනය කිරිම මත ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

-ශානි පොල්ගම්පල-

Similar Posts