තොරතුරු අයිතියේ වැදගත්කම පුරවැසියා වෙත හා පොදු අධිකාරිය වෙත ළඟා කර වීමට පවතින ක්‍රම වේදයන් ප්‍රමාණවත් නොවන බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ ලේකම් නීතිඥ දුලාන් දසනායක මහතා සඳහන් කරයි.

තොරතුරු දැනගැනීමේ විශ්වීය ප්‍රවේශය සහතික කිරීමේ ජාත්‍යන්තර දිනය සමරමින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සැමරුම් දින වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන පැවැත්විය .

මෙහිදී දුලාන් දසනායක මහතා ප්‍රකාශ කර සිටියේ තොරතුරු පනත ගෙන ඒම මෙරට පුරවැසියන් ලැබූ විශාල ජයග්‍රහණයක් වුවත් මෙයින් නිසි ප්‍රයෝජන ගැනීමට පුරවැසියා සක්‍රීයව දායක වීම වගේම පොදු අධිකාරිය (රාජ්‍ය ආයතන) මේ සඳහා සහාය ලබා දිය යුතු බවයි. රටක වංචා දූෂණ අක්‍රමිකතා අවම වීමට නම් එරට තොරතුරු පනත ද නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී ප්‍රධාන දේශකයන් ලෙස නීතිඥ විරංජනය හේරත් නීතිඥ නදීශානි පෙරේරා නීතිඥ දුලාන් දසනායක මාධ්‍යවේදී රෝහණ සිරිවර්ධන කටයුතු කළ අතර මාධ්‍යවේදී සුරංග රාජනායක මාධ්‍යවේදී ජනූර් කිචිලාන් මාධ්‍යවේදීනි කුසුම් එස්. හැන්නදි යන අය ද අදහස් දැක්විය.

සංවාද මණ්ඩපය මෙහෙයවීම මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ මහතා විසින් සිදුකළේය.

තොරතුරු දිනය සැමරීම සඳහා මෙරට දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි මාධ්‍යවේදීන් සිවිල් ක්‍රියාකාරීන් සහභාගි කරවීමට අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් ක්‍රියා කරන අතර රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා විසින් මේ සඳහා වාර්ෂිකව සක්‍රීය දායකත්වය ලබාදීම ද සිදු කරයි.

ගම්පොළ -සුරංග දිල්හාන්

Similar Posts