amaraniya

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වාගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450ක මුදලක් එම සමිතියේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකු වංචා කළ බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව සමිතියේ සාමාජිකයෝ පොල් ගසා උද්ඝෝෂණයක නිරත වූහ.

එප්පාවල, කටියාව යාය 01 අමරණීය මරණාධාර සමිතියේ සාමාජික මහතෙකු පෙරේදා (30) අභාවප්‍රාප්ත වී ඇති අතර, එම මරණයට ගෙවිය යුතු මරණ පාරිතෝෂික මුදල් ගෙවීමට සමිතියේ මුදල් නොමැති වීම හේතුවෙන් හදිසි මහ සභා රැස්වීමක් ඊයේ (01) කැඳවා තිබිණි. එහිදී සමිතිය සතුව තිබූ රුපියල් ලක්ෂ 450කට වැඩි මුදලක් නිලධාරීන් විසින් වංචා කර ඇති බවට සමිතියේ සාමාජිකයින් චෝදනා කළ අතර, අදාළ වංචාවන් සිදු කළ නිලධාරීන්ගේ නිවෙස් වෙත ගොස් සමිතියේ මුදල් ඉල්ලා උද්ඝෝෂණය කිරීමට සමිතියේ සාමාජිකයෝ යෝජනා කරනු ලැබූහ.

ඒ අනුව සමිතියේ 500කට ආසන්න සාමාජික පිරිස පා ගමනින් සමිතියේ සභාපති ධුරය හෙබවූ විමලා දිසානායක නම් කාන්තාවගේ නිවෙස ඉදිරිපිටට ගොස් හූ කියමින් සටන් පාඨ කියමින්, රතිඤ්ඤා දල්වමින් තම සමිතියෙන් වංචා කළ මුදල් ලබා දෙන ලෙසට ඉල්ලීම් කරනු ලැබූහ. කෙසේ වෙතත් අදාළ නිවෙසේ නිවැසියන් කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට නොපැමිණි අතර, විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයෙහි නිරත වී, අනතුරුව එම සමිතියේ ණය කමිටුවේ සභාපති ධුරය හොබවන තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක උදය අබේසිංහ මහතාගේ නිවෙස අසලට පා ගමිනින් පැමිණ විරෝධතාවයෙහි නිරත වූහ. එම නිවෙසේද දොරගුළු ලා තිබූ අතර, කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට නොපැමිණියහ.

අනතුරුව විරෝධතාකරුවෝ එම නිවෙස ඉදිරිපිටද රතිඤ්ඤා දල්වා පොල් ගැසූහ.

අනතුරුව අදහස් දැක්වූ විරෝධතාකරුවන් කියා සිටියේ, කටියාව යාය 01, අමරණීය මරණාධාර සමිතියේ සභාපති ධුරය හෙබවූ විමලා දිසානායක නම් කාන්තාව හා ණය කමිටුවේ සභාපති ධුරය හෙබවූ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක උදය අබේසිංහ යන දෙදෙනා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සාමාජිකයින්ට ණය ලබා දෙන බව පවසා සාමාජිකයින්ට හොර රහසේම සමිතිය සතු මුදල් රුපියල් ලක්ෂ 450කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි. තම සමිතියෙහි සාමාජිකයින් 500කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, එම සාමාජිකයින්ගෙන් හා මියගිය සාමාජිකයින්ගේ සාමාජික මුදල්, දඩ මුදල් ඇතුළු ලැබීම් සියල්ල මෙම නිලධාරීන් පිරිස විසින් සොරාගෙන ගොස් සමිතියේ වත්කම මේ වන විට බින්දුවට බස්සා ඇතැයි පැවසීය. ඒ හේතුවෙන් පෙරේදා (30) දින සිදු වූ සාමාජිකයකුගේ මරණයකට මරණ පාරිතෝෂික ලෙස සාමාජිකයකුගෙන් රුපියල් 500 බැගින් එකතු කර ගෙවීමට සිදු වූ බවද ඔවුහු පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිලි කර අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතත්, අදාළ නිලධාරීන් සමිතියේ මුදල් ලැබීම් හා වියදම් වීම් පෙන්වා දීමට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් නොකර ඒවා වේයන් හා මීයන් කා විනාශ වී ඇතැයි පවසන බවද විරෝධතාකරුවෝ පැවසූහ. වංචාවන් සිදු කළ බවට චෝදනා කළ නිලධාරීන්ගේ නිවාස පිහිටි භූමියට ඇතුළු නොවී, ඔවුන්ගේ දේපළවලටද හානි සිදු නොකර මෙම පිරිස විරෝධතාවයෙහි නිරත වූ අතර, විරෝධතාකරුවන් කියා සිටියේ සමිතියෙන් වංචා කළ මුදල් ඔවුන්ගෙන් ලබා ගන්නා තුරු මෙම අරගලය අත් නොහරින බවයි. අදාළ ස්ථානයන්හි ආරක්ෂාව සඳහා එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීහුද පැමිණ සිටියහ.

අනුරාධපුර – තිසර සමල්

Similar Posts