මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය වත්මන් රජය මේ වනවිට ආරම්භ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (පෙබ. 20) පැවසීය.

එමගින් කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම, නව සැපයුම් දාම, ශීතාගාර පහසුකම් ලබා දීමට හැකිවන බව පැවැසූ ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු වීමට නියමිත බව සඳහන් කළේ ය.

රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් රටපුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වන සැසිවාරයේ සමාරම්භක සැසිය කොළඹදී අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීවේ ය.

රජය සහ අමුල් සමාගම මිල්කෝ ආයතනය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට නියමිත බව පැවසූ ජනාධිපතිවරයා එමගින් ගොවීන් ලක්ෂ දෙකකට ප්‍රතිලාභ ලැබෙන අතරේ දිනකට කිරි ලීටර් මිලියන විස්සක් ලබා ගැනීමට හැකි වන බව ද කීය.

මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉතිරි ඉඩම් ඇතුළුව ගොවි ජනතාවට අවශ්‍ය ඉඩම් ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙන බවත් නවීන කෘෂිකර්මාන්තයට ප්‍රවිෂ්ට වීමට කැමති ඕනෑ ම අයකුට එම ඉඩම් ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේ ය.

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමග නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව නගා සිටුවීමට රජය කැපවී සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟාසිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බව ද සඳහන් කළේ ය.

දේශගුණ විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අවශ්‍ය භූමිය හඳුනාගෙන තිබෙන බවත් එහි ගොඩනැගිලි ඉදිකිරීමට දකුණු කොරියානු ජනරජය සමග සාකච්ඡා කරමින් සිටින නමුත් තවත් බොහෝ පාර්ශවකරුවන්ට ඊට සහභාගි වීමට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 46 අතුරින් එක්සත් ජනපදය, චීනය සහ රුසියාව ඇතුළු රටවල් 34ක රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 19දා කොළඹදී ආරම්භ වූ සමුළුව අද දින (පෙබ. 21) අවසන් වේ.

“කෘෂි ආහාර පද්ධතිය පරිවර්තනය” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවේදී කලාපයේ රටවල පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය, ආහාර පරිභෝජන සුරක්ෂිතතාව, ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, පාරිසරික සුරක්ෂිතතාව පවත්වා ගැනීම, හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම, දේශගුණික විපර්යාසවල අවදානම පාලනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

2022 වර්ෂයේදී බංග්ලාදේශය මෙම සමුළුවේ සත්කාරකත්වය දැරූ අතර මෙතැන් සිට 2026 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව දරනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමුළුවේ සමාරම්භක සැසිවාරයෙන් අනතුරුව නියෝජිත රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන් සමග සාකච්ඡාවකට එක් විය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළුව දෙස් – විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Similar Posts