නවතම ලෝක බැංකු වාර්තාවක් අනුව, ශ්‍රී ලංකාව ඇතුළත් දකුණු ආසියාවේ ජනතාව මිලියන 1,800ක් පමණ 2030 වනවිට අධික තාප බලපෑම්වලට මුහුණ දිය යුතු වනු ඇත. එහෙත්, ආදායම් සීමාවන් සහ වෙළඳපොළ අසාර්ථකත්වයන් හේතුවෙන් බොහෝ අයට අධික උණුසුමට එරෙහිව අනුගමනය කළ හැක්කේ මූලික පියවර පමණක් බව “From Risk to Resilience: Helping People and Firms Adapt in South Asia” නම් වාර්තාවෙන් අනාවරණය වේ.
2030 වනවිට දකුණු ආසියාවේ ජනගහණයෙන් 89%ක් පමණ අධික උණුසුම් තත්වවලට මුහුණ දෙනු ඇතැයි වාර්තාවෙහි සඳහන්ය. 2021 දී බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව වැනි රටවල දිනකට පැය 6ක් පමණ එළිමහනේ වැඩ කිරීමට බැරි තරම් උණුසුමක් තිබුණි. මෙම කාලසීමාව 2050 වන විට පැය 7-8 දක්වා වැඩි විය හැකි බවට අනාවැකි පළ කර ඇත.
මෙම අවදානම්වලට මුහුණදෙමින් බොහෝමයක් පවුල් සහ ව්‍යාපාර දැනටමත් ක්‍රියාමාර්ග ගෙන තිබේ. පවුල්වලින් 77%ක් පමණ කාලගුණික අනතුරවලට හෝ වැසි අඩුකමට මුහුණදීම සඳහා වැසි ජලය රැස් කිරීම, සුළඟ සහ තද වැසිවලට එරෙහිව නිවෙස් ශක්තිමත් කිරීම වැනි දේ සිදු කර ඇත.
අධික උණුසුම හේතුවෙන්, බොහෝ පවුල් වගාවෙන් බැහැර වෙමින් වෙනත් රැකියාවලට හෝ විදේශගත වීමට යොමු වෙති.
ලෝක බැංකුව විසින් නිකුත් කළ මෙම වාර්තාව, විශේෂයෙන්ත් අඩු ආදායම් පවුල්වලට හා ව්‍යාපාරවලට මෙම තත්වයට මුහුණ දීමට හැකි වන පරිදි ක්‍රියාමාර්ග ගැනීමට රජයන් විසින් ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බව අවධාරණය කරයි.