online

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වීම හරහා එම පනත තවදුරටත් ප්‍රායෝගික වන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

අදාළ පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (21) පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

මෙම පනතට අනුව සිවිල් නඩු පැවරිය හැකි බවත් තහනම් ප්‍රකාශ නිසා පීඩාවට පත් වන අය ආරක්ෂා කිරීමට ප්‍රතිපාදන පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

අධිකරණයට අපහාස වන ප්‍රකාශ සන්නිවේදනය වැළැක්වීම ද මෙම පනතේ අරමුණක් බව ඔහු පැවසීය.

වැරදි සිදු කරන මාර්ගගත ගිණුම් හඳුනාගැනීම, තහනම් ප්‍රකාශ නැවත නැවත සන්නිවේදනය වැළැක්වීම ද මෙම පනතේ අරමුණක් බව ඔහු ප්‍රකාශ කරයි.

මෙම පනතට අනුව යම් දෙයක් සමාජ මාධ්‍යයට මුදා හරිනවා නම්, එහි වගකීම එය මුදාහරින පුද්ගලයා දැරිය යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවසාන වශයෙන් අවධාරණය කළේ ය.

මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පුලස්ති ගුණවර්ධන මහතා පැවසුවේ, 2021 වර්ෂයේ සමාජ මාධ්‍යය තුළ සිදුවීම් 16,975ක් වාර්තා වී ඇති බවයි.

ඒ අතරට අපයෝජන සිද්ධි 182ක් ද ඇතුළත් බව ඔහු අවධාරණය කරයි.

මේ අතරින් වැඩිම ගණනක් වාර්තා වන්නේ, අසභ්‍ය දර්ශන හා සංස්කරණය කළ ඡායාරූප ගැන සිදුවීම් බව ද ඔහු පැවසීය.

Similar Posts