කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගියදා කුට්ටිගල, පදලංගල පිහිටි උළු, ගඩොල් කම්හල නිරීක්ෂණයට ගිය බව එම අමාත්‍යාංශය පවසයි. කලක් වසා දමා තිබූ මෙම කම්හල එම අමාත්‍යාංශය යටතේ යළිත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු, ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිශෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා පිඟන් සංස්ථාව සතු වැසී ගොස් තිබූ උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවලට යළි පණ දීමට කටයුතු කරමින් සිටින බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී පවසා ඇත.

විශේෂයෙන්ම සිමෙන්ති, ඇස්බැස්ටෝස් වැනි සෙවිලි තහඩු ගෙන්වීම සඳහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීම මෙම කටයුත්තේ අරමුණ බවත් ඔහු සඳහන් කර තිබේ.

“ලංකා පිඟන් සංස්ථාව අප අමාත්‍යාංශය භාර ගන්නා විට ඉතා දුර්වල තත්ත්වයේ තිබූ රාජ්‍ය ආයතනයක්. එහි සේවකයන් විශාල පිරිසක් ඉවත්වෙලා සීමිත සේවක සංඛ්‍යාවකින් තමයි එය පවත්වාගෙන ගියේ. ගෙවීගිය මේ කෙටි කාලය තුළ අපට, ලංකා පිඟන් සංස්ථාවේ සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය හා සේවක පිරිස සමඟ කැපවීමෙන් වැඩ කරලා වැසී ගොස් තිබූ මහියංගනය සහ මෙම කුට්ටිගල පදලංගල උළු හා ගඩොල් කම්හල් යළි විවෘත කිරීමට හැකි වුණා. ඒ විතරක් නොවෙයි උතුරේ යුද සමය තුළ වසා දැමුණු ඔඩ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව ලබන වසරේ මාර්තු වන විට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

“ඒ වෙළෙඳපොළ ඉල්ලුම සපුරන්න තමයි අපි මේ වැසී ගොස් තිබූ උළු, ගඩොල් කර්මාන්ත ශාලා යළි අරඹන්න කටයුතු කරන්නේ. එමගින් සිමෙන්ති, ඇස්බැස්ටෝස් වැනි ද්‍රව්‍ය ගෙන්වීම සඳහා මේ රටින් එළියට ඇදී යන මුදල රට තුළ ඉතිරි කර ගෙන අපේම අමුද්‍රව්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය කරන උළු හා ගඩොල් අපේ ප්‍රජාවට සුදුසු තත්ත්වයෙන් ලබාදීමට හැකිව තිබෙනවා.” යනුවෙන්ද ඒ මහතා පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, මෙම කම්හල් පරිශ්‍රයේ තිබූ නිසි ප්‍රමිතියෙන් යුත් උළු කැට ලක්ෂ 05ක් පමණ මේ වන විටත් වෙළෙඳපොළ වෙත යොමුකර ඇති බවත්, අතීතයේ නිපදවන ලද ප්‍රමිතියෙන් පහළ මට්ටමේ උළු හැර ඉතිරිව ඇති නිසි ප්‍රමිතියෙන් යුත් සෑම උළු කැටයක්ම ක්‍රමානුකූලව වෙළෙඳපොළ වෙත යැවීමට පියවර ගෙන ඇති බවත් පවසා තිබේ.

මෙම අවස්ථාවට ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිට ඇත.

Similar Posts