කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී ආපදාවට පත්ව පා වෙමින් තිබියදී ඉන්දියානු වෙරළ ආරක්ෂක අංශයෙන් සොයා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ධීවරයන් ද සමඟ ගොඩබිමට රැගෙනවිත් තිබේ.

පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 91ක් පමණ දුරින් වූ උතුරු මුහුදේදී එන්ජින් යන්ත්‍ර අක්‍රීයවීමෙන් ආපදාවට පත්ව ඉන්දීය මුහුදු තීරය දෙසට පාවෙමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සොයා ගැනීමෙන් අනතුරුව, මෙරට බහුදින ධීවර යාත්‍රාවක ආධාරයෙන් පෙරේදා (08) සවස් වන විට ගොඩබිමට රැගෙන විත් තිබිණි.

ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායෙන් පසුගිය මාර්තු මස 22 වැනි දින ධීවරයන් 06 දෙනකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ Kalpani නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවෙන් පසුගිය මාර්තු මස 28 වැනි දින සිට කිසිදු පණිවිඩයක් නොමැති බවත්, එම බහුදින යාත්‍රාව තිබෙන ස්ථානය සොයාගැනීමට සහාය දෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට මේ මස 01 වැනි දින දැනුම් දීමක් සිදු කර තිබිණි.

එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව Kalpani නමැති බහුදින ධීවර යාත්‍රාව එහි එන්ජින් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් ඉන්දියානු සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපයේ පා වෙමින් තිබෙන බව එම බහුදින යාත්‍රාවෙන් නිකුත් කළ ආපදා සංඥාවෙන් අනාවරණය කරගැනීමට කටයුතු කර තිබේ.

ඒ අනුව කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුම්වත් කර එම මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ නියුතු ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවක් ආපාදාවට පත් ධීවර යාත්‍රාව සෙවීමට යොමු කෙරිණි. එම ඉන්දීය වෙරළාරක්‍ෂක යාත්‍රාව ආපදාවට පත් ධීවර යාත්‍රාව සොයා ගැනීමෙන් අනතුරුව එම ධීවර යාත්‍රාව Sadewmi (IMUL-A-0820MTR) නමැති ධීවර යාත්‍රාවේ ආධාරයෙන් ගොඩබිමට රැගෙන විත් තිබිණි.

එලෙස ඇදගෙන එමින් සිටියදී Kalpani යාත්‍රාවේ සිටි ධීවරයකු හදිසියේ රෝගී වී ඇති බව පසුගිය 05 වැනි දින එම යාත්‍රාව පරීක්‍ෂා කළ ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකාවක් වෙත දැනුම්දී ඇත. එහිදී ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හෙලිකොප්ටර් යානාවකින් රෝගී වූ ධීවරයා හදිසි ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ex- Rela Hospital, Chrompet වෙත එදින ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි. මේ සම්බන්ධයෙන් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කළ අතර, මේ වන විට ගොඩබිමට ඇදගෙන එන Kalpani බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් නාවික හමුදාව අවධානයෙන් සිටී.

රක්ෂණ ශ්‍රියන්ත

Similar Posts