cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ක්‍රිකට් පරිපාලන නීතිය සංශෝධනය කිරීමේ යෝජනාව සකස් කොට ඇත්තේ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් මගිනි.

මෙම වාර්තාව පසුගියාසයේ ජනාධිපතිවරයා වෙත ලැබී තිබුණු නමුත් එය ක්‍රියාත්මක කිරීම දැන් පවතින ලෝක කුසලාන ක්‍රිකට් තරග නිම වීමෙන් පසුව සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙරණය කොට තිබිණි.

කෙසේ වෙතත්, ජනාධිපතිතුමා ද දැනුවත් නොකර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ක්‍රියාත්මක වීමෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉහත වාර්තාව ඉක්මනින් ක්‍රියාවට නැගීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

ඒ අනුව මෙම ප්‍රශ්නය ගැන ක්‍රියාකරන කැබිනට් අනු කමිටුවේ සභාපති විදේශ ඇමති අලි සබ්රි මහතා වෙත ලබා දී තිබේ.

විනිසුරු චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා යෝජනා කොට ඇති ව්‍යවස්ථා කෙටුම්පත මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකත්වය, සංයුතිය, පරිපාලනය සහ කළමනාකාරිත්වය පිළිබඳ පුළුල් ප්‍රතිසංස්කරණයක් නිර්දේශ කර ඇත. යෝජිත වෙනස්කම් යටතේ සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනු ඇත. සෑම අධ්‍යක්ෂකවරයෙකුම වසර හතරක කාලයක් සේවය කරන අතර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ඔවුන්ට බලය ඇත. මෙම තීරණ ක්‍රියාත්මක කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ වගකීම වනු ඇත.

අධ්‍යක්ෂවරුන් 18 දෙනාගෙන් 8 දෙනෙකු පත් කෙරෙන අතර, ඔවුන් පත් කිරීම සඳහා නිර්දේශය සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් මගින් සිදු කරනු ලැබේ. මෙම කමිටුවට ජාතික ක්‍රීඩා සභාව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය සහ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය යන ආයතනවල නියෝජිතයන් ඇතුළත් වනු ඇත.

ඉතිරි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 10 දෙනා නිල මැතිවරණ ක්‍රියාවලියකින් තෝරා ගැනේ. මෙම ක්‍රියාවලියේදී ක්‍රිකට් සමාජ නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු, ක්‍රීඩකයන්ගේ සංගමය නියෝජනය කරමින් එක් අයෙක්, පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එක් අයෙක්, කාන්තා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එක් අයෙක්,ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එක් අයෙක් සහ පුහුණුකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් එක් අයෙක් පත් කිරීමට යෝජිත ය..

තවද, යෝජිත ව්‍යවස්ථාවෙන් යෝජනා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ අංශ සඳහා කැප වූ කමිටු 12 ක් පිහිටුවීමටයි. මෙම කමිටුවලට ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, අදාළ පාර්ශව අතර ගනුදෙනු කමිටුව, නාමයෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරඟාවලි කමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, නීති රීති, බේරුම්කරණය සහ විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ විරෝධී කමිටුව, සහ වේතන කමිටුව ඇතුළත් වේ.

ඒ අනුව සමස්ත ක්‍රිකට් පරිපාලනය පරිපුර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වනු ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා කර ගැනීම සඳහා වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස බලකෙරෙන යෝජනාවට සහය දීමට ආණ්ඩුව තීරණය කොට ඇත.

Similar Posts