dailyreporter

පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් පසුගිය දින නිකුත් කළ වාර්තාව මගින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් පිරිසක් පාරිභෝගික ජනතාවගෙන් ගසා කා ඇති බව හෙළිවීමත් සමඟ සිවිල් සංවිධාන එකමුතුව විසින් ඊයේ (08) දින පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගතයුතු බව පවසමින් අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.

ඉන් අනතුරුව අමාත්‍යවරයා හමුවීමට වෙළඳ අමාත්‍යංශය වෙත ගිය සිවිල් සංවිධාන එකමුතුව එම සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් එම ස්ථානයේද විරෝධතාවය සිදුකරන ලදී. එහිදී ඔවුන් පවසා සිටියේ පාරිභෝගික අධිකාරිය පවතින්නේ පාරිභෝගිකයන් හා වෙළෙන්දන් ආරක්ෂා කිරීම සඳහා බවත් එම නිසාවෙන් එය නිසියාකාරව සිදුකරගෙන යාමේ නියෝග රට පුරා ඇති පාරිභෝගික සේවා අධිකාරී ශාඛාවලට ලබාදිය යුතු බවත්ය. එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරීයේ සභාපති තනතුර හා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර පුරප්පාඩු වී ඇති බවත් වහාම ඒ සඳහා නිලධාරීන් පත්කළ යුතු බවටත් බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කළ බව ඔවුන් පවසා සිටියේය.

එහිදී මෙම විරෝධතාවය සඳහා සම්බන්ධ වූ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.

“පාර්ලිමේන්තුවේ පක්ෂ, විපක්ෂ සියලු දෙනාම ඉන්න ක්‍රම සහ විධි කියන කාරක සභාව විසින් පහුගිය දවසේ නිකුත් කළා වාර්තාවක්. මේකේ හැටියට බී ළූණු වලින්, අර්තාපල් වලින්, වියළි හාල්මැස්සන්ගෙන්, උම්බලකඩ වලින් සහ මුං ඇට වලින් රුපියල් කෝටි 20,000ක්, දළ වශයෙන් ලංකාවෙ එක්කෙනෙක්ගෙන් රුපියල් 10,000ක් ගසා කාලා තියෙනවා ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ. මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ව පාලනය කරන්න තියෙන ආයතනය තමයි පාරිභෝගික අධිකාරිය. 2023 අංක 9 කියන පාරිභෝගික අධිකාරියේ පනත. ඔය පනතේ හැටියට පාරිභෝගික අධිකාරියට තියෙන වගකීම තමයි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමත්, වෙළෙන්දා ආරක්ෂා කිරීමත්. මේ දෙක බැලන්ස් එකේ ගෙනියන එක. එතකොට මේ දෙක කරගෙන යන්න නම් රට වටේ තියෙන පාරිභෝගික අධිකාරියේ තියෙන ශාඛාවල් වලට ඒ නිසියාකාර නියෝගය දෙන්න. මේ සිවිල් සංවිධාන එදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එතන අධ්‍යක්ෂ ජෙනරාල් පත් කෙරෙව්වා. අද අපි මෙතන්ට ආවා, රාමසාන් උත්සවය, සිංහල අවුරුදු උත්සවය ඉස්සරහා අල ගෙඩියෙන්, ළූණු ගෙඩියෙන්, මිනිස්සුන්ව ගසා කද්දී, බුදියගෙන ඉන්න පාරිභෝගික අධිකාරියකට පණිවිඩයක් දෙන්න. අපි කෙක්කෙන් හෝ කොක්කෙන් පාරිභෝගික අධිකාරිය සම්බන්ධ වගකීම තියෙන පාරිභෝගික ඇමති හම්බුවෙනවා. හම්බුවෙන්න බැරි වුණොත් මේ සටන සිංහල අවුරුද්දේදී, පාරිභෝගික අයිතීන් රැකලා දීම වෙනුවෙන් අපි අඛණ්ඩව ගෙනියනවා. මතක තියාගන්න ඇමති කෙනෙක් මේ විදිහටම බෙහෙත් වලින් වංචා කරලා ඉන්නවා හිරේ. ඒ හින්දා අපි කියනවා, පාරිභෝගික ඇමතිටත්, කෙහෙළියට තනි රකින්න ඕනේ නම් අපි යන එක නවත්තන්න. එහෙම නැත්නම් වහාම බත් පතෙනුත් ගසා කන මේ අසික්කිත ක්‍රියාව නවත්තන්න.”

සිවිල් සංවිධාන එකමුතුව

දර්ශන තන්ත්‍රිගේ

Similar Posts