dailyreporter

22වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ‍ හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනිමට ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ සමත්විය.

ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත. රහස් කියන කඳු චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඒ සඳහාම ජාත්‍යන්තර සම්මානයක් ලැබීම විශේෂත්වයකි.

ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු‘ සිනමා පටය, මීට පෙර 52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙල ඇතුලු ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී සම්මානයට පාත්‍ර විය.

ජගත් මනුවර්ණ, සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ආනන්ද කුමාරඋන්නැහේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් එක්වී ඇත.

කූඹියෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න රංගන ශිල්පියෙකු ලෙස රහස් කියන කඳු තුළින් සිනමාවට එක්වීම විශේෂත්වයකි.

මෙහි කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න, කලා අධ්‍යක්ෂණය උපුල් චමිල බණ්ඩාර, තිර රචනය ජගත් මනුවර්ණ සමග නාමල් ජයසිංහ වන අතර සංගීතය සපයා ඇත්තේ තිලංක ගමගේ ය.

‘රහස් කියන කඳු ‘ සුනිල් ටී.ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර, චන්න දේශප්‍රිය, රසිත ජිනසේන සාමූහික නිෂ්පාදනයකි.

අධ්‍යක්ෂකවරයා පවසන පරිදි මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔහුට බලපෑ ප්‍රධානම හේතුවක් වන්නේ විවිධ කාල සීමාවලදී ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ සිදුවුන යම් යම් ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් ඔහුට ඇතිවුනු කම්පනයයි.

Similar Posts