ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑම් පිළිබඳව ත්‍රීවීලර් රියැදුරන් 25කට අධික ප්‍රමාණයකගෙන් පැමිණිලි වැල්ලම්පිටිය පොලිසිය වෙත ලැබී තිබුණි.

පොලිසිය පසුගියදා සිදු කළ මෙහෙයුමකදී මහා මාර්ගයේ රැඳී සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමට යාමේදි ඔහු අධික වේගයෙන් දිව ගොස් තිබේ. ඒ අවස්ථාවේදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ද අධික වේගයෙන් ඔහු හඹා ගොස් දැඩි ප්‍රයත්නයක් දරා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි, මිලිග්‍රෑම් 300ක් හමුවී තිබුණි. මොහු ත්‍රීවීලර් රථ කොල්ලකෑමට සම්බන්ධ බවට සැක කළ පොලිසිය රැඳවුම් නියෝග ලබා ගෙන දිගින් දිගටම සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු ත්‍රීවීලර් රථවල ගොස් ඔහු විසින් සිදු කරන ලද කොල්ලකෑම් 25ක් හෙළි කරගෙන තිබේ.

වැඩිදුරටත් පරික්ෂා කිරීමේදි මෙම සැකකරුට විරුද්ධව නඩු 37ක් ද, වරෙන්තු 12ක්ද ඇති බව සොයාගෙන තිබේ. සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බවද හෙළි වී තිබේ. සේදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකු බවටද හඳුනාගෙන තිබේ. මෙම කොල්ලකෑම්වලට ඔහු සමඟ සම්බන්ධව සිට ඇති අනෙකුත් අය ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරගෙන යයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Similar Posts