ඕනෑම පාරිභෝගිකයකුට එක් ජංගම දුරකථන සමාගමකින් සිම්පත් 5ක් ලබාගත හැකියි. ඇතැම් පාරිභෝගිකයන් එක් සමාගමක දුරකථන සිම්පතක් ගෙන ටික දිනකින් ඒ සිම් පත පසෙක ලා ඒ සමාගමෙන්ම හෝ වෙනත් සමාගමකින් හෝ තවත් සිම්පතක් ගෙන භාවිතා කරනවා. එවිට, අදාළ දුරකථන සමාගම ටික කාලයක් අර පළමු සිම්පත සක්‍රිය කරන තෙක් බලා සිට, ටික දිනකින් එය සක්‍රිය කර ගන්නා ලෙස එස්එම්එස් පණිවිඩයක් එවනවා. එහෙත් ඒ වන විට එම සිම් පත භාවිත නොකරන්නේ නම් සිම් පත හිමිකරුට ඒ පණිවිඩය දැක ගත හැකි වන්නේ නැහැ. එහෙයින් මාස 6කින් පමණ පසු දුරකථන සමාගම ඒ අංකය වෙනත් පාරිභෝගියකුට අලෙවි කරනවා.

එවැනි අවස්ථාවක ඒ සිම් පත උපයෝගි කරගෙන වට්ස්ඇප්, ෆේස්බුක් වැනි ගිණුමක් සකස් කර තිබුණේ නම් සිම්පත ලබාගත් නව තැනැත්තා විසින් නව වට්ස්ඇප් ගිණුමක් විවෘත කළ අවස්ථාවේදී පළමු හිමිකරු විසින් සකස් කළ වට්ස්ඇප් ගිණුම අහෝසි වී යනවා. එමෙන්ම ගිණුම් යාවත්කාලීන කිරීම් සඳහා Recovery Password වැනි කරුණු ඉල්ලා සිටින අවස්ථාවන්හිදී පළමු සිම් පත නැති විට (එය වෙනත් පාරිභෝගිකයකු විසින් භාවිත කරනු ලබන විටදී) එකී රහස් මුරපදය (Password) යොමු කිරීමට ක්‍රමයක් නැහැ. මේ සම්බන්ධයෙන් බොහෝ පාරිභෝගිකයන්ට නිසි අවබෝධයක් නැහැ.

දුරකතන අංක කියන්නෙත් සීමිත සම්පතක්. ඒ නිසා, ඒ අංක අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දී තිබෙනවා.

එනිසා සිම්පතක් යම් අයකු විසින් භාවිත නොකරන්නේ නම් එම අංකයට අදාළ සිම් පත් වෙනත් අයකුට දීමට එම සමාගම කටයුතු කරනවා.

More Stories