WEATHER

ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall) මහත්මිය පැවසුවාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිකිරිමට සැලසුම් කර ඇති දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයට අවශ්‍ය උපරීම සහයෝගය ලබාදිමට කටයුතු කරන බව ද ලීසා වැන්ස්ටාල් මහත්මිය ප්‍රකාශ කළාය.

මීට අමතරව, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ගෙන යනු ලබන වැඩපිළිවෙළ පැසසුමට ලක්කළ මහා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය එය මෙරට අනාගත සුබ සිද්ධිය උදෙසා සැලසුම් සහගතව ගත් පියවරක් ලෙස ද පෙන්වා දුන්නාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ඉදිරි වැඩසටහන් ගැන කරුණු ඉදිරිපත් කළ අතර, දේශගුණික විපර්යාස පිළිබඳ පනත ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද එහිදි සඳහන් කළේය.

කලාපයේ ‍දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සොයා බැලීමට දේශගුණික විපර්යාස කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන බව පැවසූ රුවන් විජයවර්ධන මහතා ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාසවලට මුහුණදීමට අවශ්‍ය විසඳුම් මෙහිදී සොය ගත හැකි බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හරිත හයිඩ්‍රජන් බලශක්තිය පිළිබඳ මේ වන විටත් රජය අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනිය බලශක්තියට ඇති ඉඩ ප්‍රස්ථාව තවත් වර්ධනය කිරිමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපති උපදේශකවරයා වැඩිදුරටත් ‍කියා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී කතා බහට ලක්විය.

බ්‍රිතාන්‍ය රජයේ සෞභාග්‍ය කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩෘ ප්‍රයිස් (Andrew Price), ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ සජන සූරියආරච්චි යන මත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Similar Posts