dailyreporter

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැළ ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව රන්න, වීරකැටිය හා වළස්මුල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම නව පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරේ. ඒ අනුව ගොවි ජනතාවට තම ගෙවතුවල පොල් පැළ රෝපණය සඳහා එක් නිවසකට පොල් පැළ 05ක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇත.

මෙම නව පොල් ත්‍රිකෝණය සඳහා ගොවින්ට පොල් පැළ බෙදා දීම පසුගිය දින දෙක තුළ කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙරට පොල් වගාව වැවිලි බෝගයක් වශයෙන් සිදූ කෙරුණත් මෙතෙක් සමස්ත පොල් නිෂ්පාදනයෙන් සියයට 75ක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනීම සිදු කෙරේ. අපනයනය කිරීම සඳහා ඉහළ ඉල්ලුමක් සහිත වැවිලි බෝගයක් වුවත් මෙතෙක් මෙරට පොල් නිෂ්පාදනය අපනයනය ඉළක්ක කර සංවර්ධනය වී නැත.

දෛනික සමස්ත පොල් පරිභෝජනය ගෙඩි මිලියන 4.5ක් පමණ වුවද, දෛනික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 03ක් පමණ වේ. මේ නිසා පොල් වගාව ඉඩකඩ ඇති සෑම ගෙවත්තකම වගා කිරීම සඳහා ජනතාව පෙළඹවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී තිබේ.

අප රටේ පොල් පරිභෝජනයේ දී ප්‍රයෝජනයට ගත හැකි විශාල ප්‍රමාණයක් නොදැනුවත්භාවය නිසා විනාශ වී යයි. මේ නිසා පොල් පරිභෝජනයේ දී පොල් ගෙඩියකින් ලබා ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික වැඩ සටහන් සකස් කරන්නැයි ද අමාත්‍යවරයා එම මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මේ හැර දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 07ක ක්‍රියාත්මක වන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනට අදාලව එම ගම්මාන හතේම ගොවි ජනතාවට ද පොල් පැළ ගෙවතු වගාව සඳහා ලබා දීමට පියවර ගෙන ඇත.

Similar Posts