සයිබර් අපයෝජන වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර දත්ත පද්ධතියකට සම්බන්ධ වූ බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ප්‍රකාශ කළාය.

ඒ අනුව කිසියම් පුද්ගලයෙක් අවුරුදු 18ට අඩු දරුවන්ගේ අසභ්‍ය දර්ශන නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීම, අන්තර්ජාලයේ ගබඩා කර තැබීම, ළඟ තබා ගැනීම මෙන්ම නැරඹීම හෝ සිදු කළහොත් මෙම දත්ත පද්ධතිය හරහා ඔහුව ලුහුබැඳ ගොස් අදාළ පුද්ගලයාගේ සියලු දත්ත පොලිසිය වෙත ලබා දීම සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිනිය පවසන්නීය.

මේ අතර අවුරුදු 18ට අඩු දරුවන්ගේ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹීම, ෂෙයාර් කිරීම මෙන්ම අදහස් දැක්වීම පවා දඩුවම් ලැබිය හැකි වරදක් බවත් එහිදි සඳහන් වූයේ.

තවද 2022 වසරේ අසභ්‍ය ජායාරූප 146000ක්, 2023 වසරේ ජායාරූප 98000ක් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවත් පොලිසිය පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ,

“සයිබර් අවකාශය ඔස්සේ අපේ ළමුන් නිතර නිතර අපයෝජනයට පත්වීමේ සිද්ධින් වාර්තා වෙනවා. මේක වළක්වා ගන්න පොලීසිය විසින් මේ සබන්ධයෙන් පවත්වාගෙන යන දත්ත පද්ධතියක් හා සම්බන්ධවී වැඩ කිරීමට පොලීිසියේ ළමා හා කාන්තා කර්යංශයට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ දත්ත පද්ධතිය හඳුන්වන්නේ ‘International Centre for Missing & Exploited Children.’ ලෙසයි.”

“සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූපය, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරිනවා නම් ඒවා මේ සාමාජ මාධ්‍ය තුළ බේදාහරිනවා නම්, නැතිනම් මෙවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු මේ අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් මේ දත්ත පද්ධතිය සමග ඒ තොරතුරු හුවමාරු කරගන්නවා.”

“මේ දත්ත පද්ධතිය විසින් අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට මේ තොරුතුරු යොමු කරනවා.”

“ඒ රටවල්වලට දැනුම්දෙනවා.. ඔබගේ රටේ මෙවැනි අපරාධ සිද්ධ වෙනවා. අන්තර්ජාලය හරහා විවිධ අපයෝජන සිදුවෙනවා කියා. මේ ආකාරයට ශ්‍රී ලංකාවටත් මේ සම්බන්ධතාවය ලැබිලා තිබෙනවා.” යැයි ප්‍රකාශ කළා.

Similar Posts