විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වී නීතිඥභාවය අත්හිටුවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ සුසිල් ප්‍රියන්ත ජයතුංග ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත සලකා බැලීමෙන් එම පෙත්සම කැඳවූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (03) ඉවත් විය. අධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගය අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදීමේ බව ප්‍රකාශ කරන ලදි.

එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පුද්ගලයා සම්බන්ධ පෙත්සම් තුනක් කැඳවීය.

එහිදී වගඋත්තරකරු අධිකරණය අමතමින් සඳහන් කළේ තමන් විසින්ම තමන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන බවය.

තමන් තනිව ජීවත් වන පුද්ගලයකු වන බවත් බන්ධනාගාරගත කරන අවස්ථාව වන විට සමේ රෝගයකින් පෙළුණු බවත් ඔහු සඳහන් කළේය.

බන්ධනාගාරයේදී ලබාදෙන බල මාළු වැනි උෂ්ණාධික ආහාර ගැනීම නිසා තමන්ගේ සමේ රෝගී තත්ත්වය තවදුරටත් වැඩි වී ඇතැයි ඔහු සඳහන් කළේය. තමන් තවත් රෝග රැසකින් පෙළෙන බව ද ඔහු සඳහන් කළේය.

එම කරුණු සලකා බලා තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලීමක් කරන බව ඔහු අධිකරණයේදී සඳහන් කළේය.

එහිදී විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් වන අචල වෙන්ගප්පුලි සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සඳහන් කළේ මෙම පුද්ගලයා නීතිඥවරයකු ලෙස කටයුතු කරමින් සිටින අවස්ථාවේදී තමන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ ඇප අයදුම්පත සලකා බැලීමෙන් ඉවත් වන බවය.

එහිදී විනිසුරු මඬුල්ලේ සභාපති එස්. තුරෙයිරාජා මහතා ප්‍රශ්න කර සිටියේ “තමන් විනිසුරුවරුන් කීදෙනකුට එරෙහිව පැමිණිලි කර තිබේද?” යන්නය.

එහිදී වගඋත්තරකරු ප්‍රකාශ කර සිටියේ “ඒ පිළිබඳ මට නිශ්චිතව මතක නෑ.” යනුවෙනි.

“තමන් මට එරෙහිවත් පැමිණිල්ලක් කර තිබෙනවාද?” යනුවෙන් සභාපති විනිසුරුවරයා එහිදී ප්‍රශ්න කළේය.

එහිදී වගඋත්තරකරු සඳහන් කර සිටියේ විනිසුරු තුරෙයිරාජා මහතාට එරෙහිව එක පැමිණිල්ලක් කෙසෙල්වත්ත පොලිසියට කර තිබෙන බවය.

එහිදී විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා සඳහන් කළේ පෙත්සම්කරු තමන්ට එරෙහිව පෞද්ගලිකව පැමිණිල්ලක් ගොනුකර ඇති බැවින් මෙම පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බවය.

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා දන්වා සිටියේ විත්තිකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය සී.ඩී.කේ. ප්‍රනාන්දු මහතා විසින් විමර්ශනයක් සිදු කරන බවට ලිඛිත දැනුම් දීමක් කර ඇති බවය.

එම විමර්ශන කටයුතු දිගටම සිදු කරගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී නියම කළේය.

වගඋත්තරකරුගේ ඇප අයදුම්පත වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ අප්‍රේල් මස පස්වැනිදා කැඳවන ලෙස නියම කෙරිණ.

ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සුපුරුදු පරිදි නඩු විභාග පවතින අතරතුර දේපොළ ආරවුලක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචන පෙත්සමක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා නීතිඥවරයකු ලෙස පෞද්ගලිකව කරුණු දැක්වීම සිදු කළේය.

එහිදී ඔහු කියා සිටියේ මෙම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන්ට එරෙහිව තමන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බැවින් මෙම විනිසුරු මඬුල්ලට එම නඩුව විභාග කිරීමට හැකියාවක් නැති බවය.

විනිසුරු මඬුල්ල පවසන කරුණු නොතකා හරිමින් ඔහු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළේය.

එහිදී විත්තිකාර නීතිඥවරයා අධිකරණයට අපහාස වන ආකාරයෙන් සහ අධිකරණයේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කරන බවට එම විනිසුරු මඬුල්ල තීරණය කළේය. ඒ අනුව වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියම කෙරිණ.

එසේම 2024 අපහාස කිරීමේ පනතේ අංක 8(1) a යටතේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නියම කළේය.

එසේම නඩු විභාගය අවසන් වනතෙක් විත්තිකරු බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ.

ශ්‍රේෂ්ඨාධිකරණ රෙගුලාසි 42(3) වගන්තිය යටතේ නීතිඥවරයාගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමට නියම කෙරිණ.

නෙල්කා මැදගෙදර

dinamina

Similar Posts