පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනරජ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ දී හදවත් රෝගී දියණියකට රුපියල් ලක්ෂ 16ක පරිත්‍යාගයක් සිදු කළේය. එම පරිත්‍යාගය සිදු කිරීමෙන් අනතුරුව රණවක මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.

හදවත් රෝගයකින් පෙළෙන අනුරාධපුර රාජාංගණයේ සිට පැමිණි ගොවි පවුලක දෙවෙනි දරුවා වු දියණියක් වෙනුවෙන් එසේ ලක්ෂ දහසයක පරිත්‍යාග පිරිනැමීම සිදු කළ අතර, එවැනි ආබාධ සහිත දරුවන් දාහකට අධික ප්‍රමාණයක් දැනට රෝහල්වල පොරොත්තු ලේඛණයේ සිටින බව ද, පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

විශේෂඥ වෛද්‍යවරුන් අති විශාල වශයෙන් විදෙස්ගත වීම හේතුවෙන් අනුරාධපුරය වැනි ප්‍රධාන රෝහල්වල පවා මේ වනවිට සැත්කම් සිදු කර ගැනීමට හැකියාවක් නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළ අතර, ග්‍රාමීය රෝහල් හතළිහක් මේ වනවිටත් වැසී ගොස් ඇති බවත් තවත් රෝහල් සියයක් වැසී යෑමේ අවධානමක පවතින බවත් ප්‍රකාශ කළේය. තම හිතවතුන් පිරිසක් එකමුතුව මෙම සැත්කම සිදු කර ගැනීමට එම දියණියට මූල්‍ය පරිත්‍යාගය සිදු කළ පැවසූ ඒ මහතා රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට පොරොත්තු ලේඛනයේ බලා සිටින එවැනි දරුවන්ට ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීමට ඉදිරිපත්වන ලෙස දානපතීන්ගෙන් ඔහු ඉල්ලීමක්ද කළේය.

විශේෂයෙන්ම උත්සව, උපන්දින සාද, ප්‍රිය සාද වෙනුවට, මෙවැනි දරුවෙක්ගේ ජීවිතය ගලවා ගැනීම සඳහා, දානමය පිංකමකට දායක වෙන ලෙසත් , ඊට අවශ්‍ය දත්ත, රටේ ප්‍රධාන රෝහල් වලින් විශේෂයෙන්ම කොළඹ මහ රෝහලෙන් ලබාගත හැකි බව ද රණවක මහතා පැවසීය.

එහිදී මාධ්‍ය වේදින් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා;

ප්‍රශ්නය

මේ දවස්වල කතාබහට ලක්වෙනවා විදුලිබල නව පනත ගැසට් කරපු ආකාරය සම්බන්ධයෙන් සහ එකේ කරුණු ගැන. ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?

පිළිතුර

“ලංකා විදුලිබල මණ්ඩලය කොටස් වලට වෙන් කරලා ආයතන දොළහකට පමණ ඇතැම් කොටස් පුද්ගලික අංශයට ලබා දීමත් ඇතැම් කොටස් රජයේ භාණ්ඩාගාරයේ තබා ගැනීමටත් විදුලිබල පනතෙන් බලාපොරොත්තු වෙනවා., එවිට අවශ්‍ය විටෙක පුද්ගලික අංශයට ඒවා ලබා දීමට රජයේ භාණ්ඩාගාරයට පුළුවන් වෙනවා.. එහිදී ජනන අංශය සඳහා එවැනි සමාගම් හතරක් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම බෙදාහැරීම් අංශය සඳහා සමාගම් පහක් ඒ වගේම සම්ප්‍රේෂණය සඳහා සමාගම් දෙකක් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අනෙකුත් සේවාවන්වල තිබුනු සමාගම් දෙකක් හැටියට තිබෙනවා. සමාගම්කරණයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අද තියෙන මේ මිල ගණන් අඩු කිරීමට පුළුවන් වෙයි කියලා මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ. විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ගැටළුවක් පවතිනවා.”

කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත් එයට දේශපාලන පත්වීම් ද හේතුවක් වී ඇති බවත් මෙහිදී පැවසූ ඒ මහතා බොහෝ දෙනෙකු මූල්‍ය අරමුදල ගැන සඳහන් කළ ද ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන පනස් දෙකක් ලංකාවේ ඇති බවත් ඒ පනස් දෙකම මේ වසරේ අතිශයින් ලාභ බව ද සඳහන් කළේය. ජූනි, ජූලි මාස වල දී වෙනකොට රුපියල් බිලියන තුන්සිය තුනක මෙහෙයුම් ලාභයක් ලබා ගත් බව පාර්ලිමේන්තුවට වාර්තා කොට ඇති බවත් ඒ මහතා වැඩි දුර අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

 

අධික වැසි සහිත තත්ත්වය නිසා අධික ලාභයක් ලබන බවත් ඒ නිසා විදුලිබල මණ්ඩලයට අධික වියදම් සහිත බලාගාර විදුලි උත්පාදනයට දැන් යොදවා ගැනීම අනවශ්‍ය බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ දැනට පවතින ගාස්තු ක්‍රමය ආසියාවේ සිංගප්පූරුවට විතරක් දෙවෙනි වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ නිසාම කර්මාන්තකරුවන් අද වනවිට වියට්නාමය වැනි රටවල් වලට ගොස් ලංකාවේ විදුලි බිලෙන් තුනෙන් එකකට එම කාර්යය කරගත හැකි බව පවසන බවත් ඒ මහතා පැවසීය. ලංකා විදුලිබල මණ්ඩලය පමණක් නොව, අද වන විට රක්ෂණ සංස්ථාව එමෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම, සහ රාජ්‍ය බැංකුවලින් 20% කොටස් පෞද්ගලික අංශවලට ලබා දී තිබෙන බවත් පැවසීය.

ප්‍රශ්නය

ආණ්ඩුවට අවශ්‍ය නම් විදුලි බිලෙන් සියයට හතළිහක් පමණ අඩු කරන්න පුළුවන්. මොකද ලංකා විදුලිබල මණ්ඩලය අධික ලාභ ලබනවා ඔය ප්‍රතිසංස්කරණ තොරව. මේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ සංවිධාන මහජනතාව පාරට බහිනවා. ඒකෙදි අපි දකිනවා යම්කිසි මර්දනයකුත් සිද්ධ වෙනවා. ඔබගේ අදහස මොකක්ද?

පිළිතුර

“ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව බිඳ දමන්න කවුරුහරි කටයුතු කරනවා නම් නීතිය රැකීම ආණ්ඩුවේ වගකීමක්. හැබැයි සුරාබදු නිෂ්පාදකයින් පොලු තියෙනකොට, බැංකුවලට ඇමතිවරු පොලු තියලා තියෙන කොට සහ දේශපාලකයින් ඇතුළු ව්‍යාපාරික පිරිස් පොලු තියලා තියෙනකොට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පොලු තියෙන ඒවා අය කර ගන්නේ නැතුව ඉන්නකොට කොහොමද මේ රටේ පඩි පත වෙනුවෙන් පාරට බහින මිනිස්සුන්ව පාලනය කරන්නේ? මේ 2019 දීපු ඡන්දයේ ප්‍රතිඵලයක් හැටියට අද වෙනකොට බදු හැටියට මිනිස්සු රුපියල් ලක්ෂයක් වැඩියෙන් ගෙවලා තියෙනවා. රුපියල් ලක්ෂ දෙකක් මිනිස්සුන්ගෙන් උදුරගෙන තියෙනවා වර්ෂයකට. ඒ නිසා තමයි මේ බඩගින්න මිනිස්සුන්ට දැනිලා තියෙන්නේ. ඒ වගේම ජීවන වියදම තුන් ගුණයකින් වැඩි වුණාට පඩි පත එහෙම වැඩි වෙලා නෑ. නමුත් ජාවාරම්කාර පැලැන්තියට බදු අය කරගන්නේ නැහැ. ඒ අයට නිදැල්ලේ ඉන්නට දීලා තියෙනවා. පසුගිය කාළයේ සිදුවීම්වලින් ඉගෙන ගෙන නැති බව තමයි පේන්නේ. මේ කැඳවාගන්නේ නැවතත් විශාල ජන අරගලයක්. මතක තියාගන්න. ඔය පොලිස් පොලු වලට, ඔය හමුදාව යොදවද්දී ඔය සමහර හීතකාමර ඉඳන් කටයුතු කරන උසස් පොලිස් නිලධාරීන් ඇමතිවරු එහෙම කල්පනා කළාට ඒවට දවසක් එනවා ගිය අවුරුද්දේ මැයි නමය ජූලි නමය වගේ ගෙවන්න සිද්ධ වෙන දවසක් එනවා. ඉතින් ඒක නිසා ඒ ගැන කල්පනා කරලා මේ ජනතාවට ආර්ථික යුක්තිය ඉෂ්ට කරන්න කියන එක අපි බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට කියනවා.”

ලක්ෂ 16ක් වූ එම පරිත්‍යාගය සිදු කිරීමට විශ්‍රාමික මේජර් ජනරාල් තිලක් උභයවර්ධන මහතා සම්බන්ධීකරණ කටයුතු සිදු කළ අතර, මේ අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ විධායක සභිකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුද සහභාගි විය.

Similar Posts