මුළු මහත් කතෝලික ජනතාව මහත් බැතියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදයි. ඒ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථානය ලැබීම සැමරීම ඇතුළු තවත් සැමරීම් කිහිපයක් අද දිනයේ සිදු කරන බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සත්‍ය කරුණු හෙළි නොවීම හා එහි වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් කිතුනු ජනතාව තවමත් කණස්සල්ලෙන් පසුවන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයින්ට සාධාරණය ඉටුනොවීමට එරෙහිව අද දිනයේ විරෝධතා සංවිධාන කර ඇති බව ද ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමන් මෙහිදී සඳහන් කළා.

මේ අතර දුෂ්කරතා රැසක් මෙන්ම අවිනිශ්චිතතාවන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ යුගයක් අප දැන් අවසන් කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යහපත් හෙට දවසක් පිළිබඳ අපේක්ෂාවේ දෑස් දල්වාගෙන බලා සිටින බවයි පාස්කු දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ. ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ එකී අපේක්ෂාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටිනවා. ඉතා කෙටි කලක් තුළ එම අභියෝගය ජයගත හැකි බව තමන් තරයේ විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

අද අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණු වලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීම බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාව ජනතාවගේ මතකයෙහි රැඳී ඇති බව තමන් හොඳින් දන්නා බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාස්කු පණිවිඩයේ දක්වා ඇත්තේ. එම අවාසනාවන්ත සිදුවීමට අදාළ නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට තමන් කැපවී සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාස්කු දින පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කුරුසයේ සිටියදී පවා වදකයන්ට සමාව දී දයාව හා ප්‍රේමය පතුරුවාලූ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයෙන් අපගේ හදවත් නවමු පරිවර්තනයකට ගෙන යමින් දයා , කාරුණික ප්‍රේමයෙන් හා සමාව දීමේ ගුණයෙන් මෙවර පාස්කුව සරසා ගනිමුයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

පාස්කු දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වත්මන් අර්බුදකාරී තත්ත්වයන් තුළ මානව ගුණාංග නොනැසී පවත්වා ගැනීමටත්, නිවැරදි තීන්දු තීරණ ගැනීමටත් ඇවැසි මානසිකත්වය ජනතාව තුළ ජනිත කර ගැනීම සඳහා මෙවන් සියලු ආගමික ඉගැන්වීම් පිටුවහලක් වන බවයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාස්කු දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ සියලු චූදිතයින් අපක්ෂපාතී පරීක්ෂණයක් මඟින් සොයාගෙන නිශ්චිතවම ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ලෝකවාසී කිතුණු බැතිමතුන්ට ප්‍රේමණීය,පාස්කු මංගල්‍යයක්ම වේවායි ද විපක්ෂ නායකවරයා සිය පාස්කු දින පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර කිතුණු දේවස්ථාන ආශ්‍රිතව අද දිනයේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතින ස්ථානවලට පොලිස් විශේෂ කාර්යය බලකායේ හා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

Similar Posts