පොළී අනුපාතික හා වැඩිහිටියන්ගේ ප්‍රශ්ණය – අජිත් පැරකුම් ජයසිංහ

රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ.

ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුව දැන් එම පොළී අනුපාතික කපා හැර නොමැති බව මුදල් ඇමති ඇතුළු දේශපාලකයෝ පවසති.

එහෙත්, මගේ පෞද්ගලික තොරතුරු අනුව නම්, එය පල් බොරුවකි. මට පෙන්ෂන් ප්ලස් නම් ගිනුමක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තිබේ. එහි තැන්පතුවලට මීට කලින් 9.5%ක පොළියක් ගෙවන ලදී. ඊට පෙර එයට ඊටත් වඩා පොළියක් ගෙවන ලද මුත්, පසුව කප්පාදු කර ඉතිරි වී තිබුණේ එම පොළියයි. එම ඉතුරුම් මගින් වයස අවුරුදු 55 ඉක්මවූ පසු විශ්‍රාම වැටුපක් හෝ පොළිය සමග ඉතිරි කළ මුදල හෝ ලබාගත හැකි ය. දින කීපයකට පෙර ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙ මූලස්ථානෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ එම ගිණුමේ ද පොළිය 8%ට අඩු කර ඇති බවයි. මා මෙම ගිනුමේ ඉතුරු කළේ මා කලින් වැඩ කළ ආයතනයෙන් ලබා දුන් සමාජ ආරක්ෂණ දීමනාවයි. එම දීමනාවේ අරමුණ වූයේ ම අනාගත ආරක්ෂාව සැලසීමයි.

සිය සේවා කාලය තුළදී උපයන ලද සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ ඉතුරුම් විශ්‍රාම ගිනුම්වල තැන්පත් කර පොළියෙන් ජීවත් වන පුද්ගලයෝ දැන් ප්‍රශ්නයකට මුහුණ දෙති. පෞද්ගලික අංශයේ නිල විශ්‍රාම යන වයස අවුරුදු 55කි. එසේ විශ්‍රාම යන ඇතැමෙක් තව දුරටත් කොන්ත්‍රාත් පදනම් වැනි විවිධ පදනම්වලින් රැකියා දිගටම කරති. ඇතැමෙක් ව්‍යාපාරවලට යොමු වෙති. මේ අතර තවත් ඇතැමෙක් වැඩ කරන්නට පුළුවන්කම තිබියදීත් ඉතිරි කළ මුදල ස්ථාවර තැන්පතුවක දමා පොළියෙන් ජීවත් වීම තෝරා ගනිති. ඒ සඳහා පෞද්ගලික තේරීම් කිරීමේ අයිතිය ජනතාවට තිබේ. එහෙත්, පොළී අනුපාතික අවම වීම නිසා ඔවුන් බරපතල ගැටලුවකට මුහුණ දෙනු ඇත.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ සංඛ්‍යාති අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනක් ද සමග ලක්ෂ 14ක් වේ. විශ්‍රාමිකයන් ගණන ලක්ෂ හයක් පමණ වේ. තම අනාගතය ගැන රජය විසින් සපයන ලද යම් සුරක්ෂිතභාවයක් තිබෙන්නේ මෙම පිරිසට පමණි. රජය විසින් ලබා දෙන ගොවි විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා ආදිය වැඩිහිටියන් දිළිඳුභාවයෙන් ඉහළට ඔසවා තැබීමට අසමත් ය.

ණය පොළී අනුපාතික අවම වීම ව්‍යවසායකත්වය පැත්තෙන් ඉතා හොඳ ය. මිනිසුන් ව්‍යවසායකත්වය පැත්තට යොමු වීම රටේ සංවර්ධනය පැත්තෙන් හොඳ ය. ලංකාවේ ජනතාව අතරින් ව්‍යවසායකයන් සිටින්නේ 5%කටත් අඩු පිරිසකි. වැඩි වැඩියෙන් පිරිස් ව්‍යාපාර වෙත යොමු වීම හොඳ තත්වයකි. කොවිඩ්-19 ඇඳිරි නීති අවසන් වීමෙන් පසු මහාමාර්ග අයිනේ සිටින බොහෝ පදිංචිකරුවන් වත්තේ පොල් ගෙඩිය, රඹුටං ගෙඩිය, දූරියන් ගෙඩිය හෝ පාර අයිනේ තබා විකිණීමට උත්සුක වනු දක්නට ලැබේ. ජීවත් වීම දුෂ්කර වන තරමට මිනිසුන් වැඩියෙන් වැඩ කිරීමට පෙළඹේ.

එහෙත්, ව්‍යවසායකයත්වයට පෙළඹෙන මිනිසුන්ට රජයෙන් ලැබෙන මගපෙන්වීම කුමක් ද? එවැනි මගපෙන්වීමක් කිරීමේ ධාරිතාව රජයේ නිලධාරීන්ට තිබේ ද? කිසිදා ව්‍යාපාරයක් කර නොමැති රජයේ නිලධාරීන් ව්‍යවසායකත්වය ගැන දන්නේ මොනවා ද? ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනයට, සේවාවට වටිනාකමක් එකතු කරන්නට රජය උදව් කරනවා ද? වෙළඳපොළ ගැටලු විසඳාගන්නට උදව් කරනවා ද? අඩු තරමේ රජයේ කාර්යාලයකට ගොස් ව්‍යාපාරයක් ලියාපදිංචි කරගැනීම හෝ පහසුවෙන් කළ හැකි ද?

මා දන්නා එක් ව්‍යවසායකයකු තව නිෂ්පාදන විදේශ වෙළඳපොළට හඳුන්වා දීම සඳහා උපකාර සොයා අපනයන සංවර්ධන මණ්ඩලයට ගිය විට ඔහුට උපදෙස් දී තිබුණේ ඒ වන විටත් ව්‍යාපාරිකයා සතුව තිබුණු සියලු විස්තර අඩංගු වෙබ් අඩවිය වෙනුවට තොරණක් වැනි විචිත්‍ර වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නා ලෙසයි. එම ව්‍යාපාරිකයා එය කළේ ය. එමගින් විදේශ වෙළඳපොළ විවෘත නොවන බව ඔහු ඉන්පසු තේරුම් ගන්නට ඇත.

තව දුරටත් වැඩ කළ හැකි අය ඉතුරුම් පොළියෙන් ජීවත් වන්නට උත්සාහ නොකර ව්‍යවසායකත්වය පැත්තට පෙළඹීම හොඳ තත්වයකි. එහෙත්, තව දුරටත් වැඩ කිරීමට අපහසු, රෝගීන් වැනි අය කරන්නේ කුමක් ද?

මෙය ලංකාවේ විශ්‍රාම වැටුප් හා වැඩිහිටි රැකවරණය සම්බන්ධ බරපතල ගැටලුවකි. ලංකාව වේගයෙන් වියපත් වෙමින් සිටින රටකි. වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනගහන අනුපාතිකය වේගයෙන් ඉහළ යමින් තිබේ. වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පහෙන් එකක් වයස අවුරුදු 60ට වැඩි වන අතර එම ප්‍ර‍තිශතය දකුණු ආසියාවේ ඉහළම මට්ටම යි. ඒ වන විට

ලක්ෂ 47ක් වන වැඩිහිටි ජනගහණයට අවශ්‍ය සමාජ ආරක්ෂණය සැපයීම සඳහා අවශ්‍ය පද්ධති ඇති කිරීම පිණිස ඉවහල් වන ප්‍ර‍තිපත්ති දැන් සිට ම සංවර්ධනය කළ යුතු යි.  මෙම ශීඝ්‍ර‍ ජනවිකාස පරිවර්තනයට රට සූදානම් ද?

අජිත් පැරකුම් ජයසිංහ – praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….