කුකුල් අසූචි තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත් දන්නවා. ඒ නිසා කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මගින් මේ අවදානම මඟහැරෙනවද කියල බොහෝ දෙනෙක් අහල තිබුනා. මේ, ඒකට මා දන්නා තරමින් ලබා දෙන උත්තරය.
කිකිලි බිත්තර මතුපිට කුකුල් අසූචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුනත් නැතත්, බිත්තර කටුව මතුපිට ජීවානුහරණය කරල නැති නිසා යම් ප්‍රමාණයකට සැල්මොනෙල්ලා කියන කුකුල් අසූචිවල ජීවත් වෙන හානිකර බැක්ටීරියාව තියෙන්නට පුළුවන්.
සාමාන්‍යයෙන් කුකුල් අසූචිවල ජීවත්වන ඇතැම් රෝගකාරක සැල්මොනෙල්ලා විශේෂවලට වියළි බිත්තර කටුව මතුපිට දවස් 54ක් වගේ කාලයක් ජීවත්වෙන්නට පුළුවන් බව සොයාගෙන තිබෙනවා.
එහෙත්, කිකිලිය බිත්තර එයාගේ ජම්බාලියෙන් එළියට දාන්නේ බිත්තර කටුව වටේට ආරක්ෂක පටලයකුත් තැන්පත් කරලායි. මේ ආරක්ෂිත ආලේපනයෙන් බිත්තර කටුව මුද්‍රා වෙලා තියෙන්නේ. ඒක නිසා ව්‍යාධිජනක බැක්ටීරියා වර්ග බිත්තරය ඇතුලට යන එක වැළැක්වෙනවා.
සාමාන්‍යයෙන්, කඩේන් ගේන බිත්තර සෝදා ගැනීම නිර්දේශ කරන්නේ නැහැ.. එහෙම සේදුවාම වෙන්නේ අර කීව ආරක්ෂක පටලය විනාශ වෙන එක. එහෙම වුනාම සේදුන ජලය බිත්තර කට්ටේ තියෙන ඇසට නොපෙනෙන සිදුරු හරහා බිත්තරය තුළට ඇතුල් වෙනවා. ඒ නිසා එසේ සේදීමෙන් ඇත්ත වශයෙන්ම බිත්තර දූෂණය වීමේ අවදානම වැඩි වෙන්නට පුළුවන්.
ඒ නිසා බිත්තර මිළ දී ගන්නකොට,
*මතුපිට ජරාව ගෑවිලා නැති බිත්තර තෝරා ගන්න.
*නොකැඩුණු, පලුදු නොවූ බිත්තර තෝරා ගැනීම ඉතා වැදගත්.
*පිරිසිදු බිත්තර එක ගොඩේ ගබඩා කරන්නේ නැතිව ඒ සඳහා විශේෂයෙන් සකස් කරල තිනෙ ඇසුරුම් වල ගබඩා කිරීම සහ ශිතකරණයක නිසි ලෙස ගබඩා කර තැබීමත් වටිනවා.
*අනික් කාරණය තමයි බිත්තර අමුවෙන් හෝ බාගෙට පිස ආහාරයට නොගැනීම. ඒකත් විශේෂයෙන් ප්‍රතිශක්තිය අඩු, ගර්භණී මව්වරුන්ට, ළමයින්ට , වයෝවෘද්ධ පුද්ගලයන්ට විශේෂයෙන් වැදගත්.
– ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක .