බේකරි කෑම හදා යතුරුපැදියෙන් කඩවලට බෙදන දිරිය කතක්

“තමා උත්සාහවන්ත නම් කවදාවත් වරදින්නේ නැහැ යන වදන මම අහල තියෙනවා. ඒ අනුව මමත් ක්‍රමයෙන් වැසී යාමට පත්වෙමින් තිබූ අපේ බේකරි ව්‍යාපාරය මාගේ ස්වාමිපුරුෂයාගේ පියාගේ ගුරු භක්තියෙන් නැවත පණගැන්වීම ආරම්භ කළා” යැයි පැවසූ දිරිය කතක් පාදුක්ක, අංගමුව ප්‍රදේශයේදී පසුගියදා හමුවිය.

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. නයනා නිල්මිණී නමැති එම දිරිය කත තම යතුරුපැදියේ පාන් අසුරා ගත් පෙට්ටියක් තබාගෙන අරුක්වත්ත සහ පාදුක්ක ප්‍රදේශයේ හෝටල්වලට තම බේකරි නිෂ්පාදන අලෙවි කිරීමට යන අවස්ථාවේදී ඇය මෙසේ කීවාය.

“මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මේ බේකරි කර්මාන්තය පමණක් නොවෙයි, කිරි කැපීම, ගොවිතැන් කිරීම, ගස් කපන මැෂිමෙන් දර කැපීම, ඒ වගේම ගෙදරදොර වැඩ කටයුතු සහ දරුවන්ගේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනගමන්, කාටත් ණයත් නැතිව, බයත් නැතිව, මේ රැකියාව කරගෙන යනවා.”

“අපි වගේ අය සමාජයට ආදර්ශයක්. අනෙක් අයටත් තම දෑතේ ශක්තියෙන් නැඟිට සිටීමට මෙය ආදර්ශයට ගන්න” යැයි පවසමින් ඇය කතාව මෙසේ පැවසුවාය.

“මීට වසර 50කට පමණ ඉහතදී මාගේ ස්වාමිපුරුෂයාගේ පියාත්, මවත්, ඔහුත් මෙම බේකරිය කරගෙන ගොස් තිබුණා. මා විවාහ වී දැනට අවුරුදු 22ක් පමණ වෙනවා. මා විවාහ වන විටත් ඔවුන් මේ ව්‍යාපාරය කරගෙන යමින් තිබුණා.

මගේ ස්වාමිපුරුෂයාගේ තාත්තා මට බේකරියේ පාන් සහ අනෙකුත් කෙටි කෑම සකස් කරන ආකාරය සහ ඒවාට අමුද්‍රව්‍ය එකතු කරන ආකාරය ගැන කියලා දුන්නා. ඒ වගේම මමත් ආශාවෙන් එම ක්‍රියාවලිය හොඳින් බලාගෙන හිටියා. එහෙම ටිකටික කරගෙන යන අවස්ථාවේදී පියාට අසනීප වුණා. තාත්තාගේ වැඩ කටයුතුත් කරන ගමන් මගේ ස්වාමිපුරුෂයා තමයි බේකරිය කර‍ෙගන ගියේ. එහෙම ඉන්නකොට 2019 වර්ෂයේදී පියා හදිසියේම මියගියා.

එතකොට අපි හොඳටම වැටුණා. දවසට පාන් ගෙඩි 8ක් විතර අලෙවිවෙන්න පටන් ගන්නකොට, අපි මේක වහලා දාමුයි කියලා මගේ මහත්තයා මට කිව්වා. ඒ වෙලාවේ මම කිව්වා මේක වැහුවොත් කවදාවත් ආපසු ගොඩදාන්න බැහැ. මට තාත්තා කියලා දුන්න ටිකයි, අප ලබාගෙන ඇති අත්දැකීම් ද සමඟම මගේ මහත්තයාගේ ආධාර උපකාර ඇතිව බේකරියේ වැඩ යළිත් පටන් ගම්මුයි කියලා, මම බේකරියේ මෝලිය අතට ගෙන නැවත වාරයක් බේකරියේ වැඩ කරන්න පටන් ගත්තා. ඒ අතට ගත්ත ගමන් තමයි, මම දැනටමත් බේකරිය වැඩ කරගෙන යන්නේ. දැන් මට බේකරියේ වැඩ හොඳට පුරුදුයි.

සෑමදාම පාන්දර 6.25 පමණ වනවිට බයිසිකලයට පාන් ටික දමාගෙන පාදුක්ක නගරයේ කඩවලට සහ පාසල්වල කැන්ටින්වලට සහ අරුක්වත්ත ප්‍රදේශයේ හෝටල්වලට ගොස් කෑම දානවා. තවත් ස්ථාන කිහිපයකට මගේ මහත්තයත් ත්‍රීවීල් එකේ පාන් අරගෙන යනවා.

බොහෝ දෙනෙක් දරපෝරුනුවේ කෑම කන්න හරිම ආසයි. සමහර පුද්ගලයන් අවන් එකේ පාන් හදනවා. ඒ පාන්වලට ඊස්ට් වැඩිපුර දාන නිසා තියාගන්න ටිකක් අමාරුයි. නමුත් බේකරියේ අද උදේ නිෂ්පාදනය කළ පාන් ගෙඩියක් හෙට උදේටත් කන්න හැකියාව තියෙනවා.

මේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදන හදන්න පිටි, මාගරින්, සීනි, ඊස්ට් වැනි දේවල් උපයෝගි කර ගන්නවා. නමුත් මාගරින් සහ ඊස්ට්වල මිල අධික නිසා පාන් සහ කෙටි කෑම නිෂ්පාදන වියදම වැඩියි. ඒවායේ මිල අඩුවෙනවා නම් පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාව තියෙනවා. මේ වනවිට සාමාන්‍යයෙන් දරවලත් මිල වැඩියි. මෙවැනි අභියෝග රාශියක් මැද්දේ තමයි මෙම බේකරි කර්මාන්තය කරගෙන යන්නේ. නමුත් වැඩේ හරියට කරගෙන යනවා නම් කවදාවත් පාඩු වෙන්නේ නැහැ.

අවසන් වශයෙන් සමාජයට ඉතාමත් ඕනෑකමින් මෙවැනි දෙයක් කියන්නම ඕනෑ. අපි සමාජයේ වැරදි වැඩ කරන්නේ නැතිනම්, ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන්. තමන් කරන වැඩේ හරියට කරනවා නම්, ඒක තමන්ට හරි යනවා. යමෙකුට කරන්න වැඩක් නැහැයි කියලා ගෙදරට වෙලා බලන් ඉන්නේ නැතුව තමන්ගේ දෑතේ ශක්තියෙන් කුමන හෝ දෙයක් ඕනෑකමින් කරන්න. ඒක කවදාවත් වරදින්නේ නැහැ. මම මේ බේකරි කර්මාන්තය වැටිච්ච වෙලාවේ නවතා දැම්මේ නැහැ. අමාරුවෙන් ඉදිරියට කරගෙන ගියා. ඒ අනුව මම ජය ගත්ත” යැයි ඇය සතුටු සිතින් පැවසුවාය.

රෙක්සි වෙත්තසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….